ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්

ශ්‍රී ලංකාවේ සුළු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs) ශක්තිමත් කිරීමේ අරමුණින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.

මෙම ණය මුදල හරහා අදාළ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම, ණය තොරතුරු සම්බන්ධයෙන් පවතින ගැටලු අවම කිරීම මෙන්ම ආර්ථික හා පාරිසරික අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම අපේක්ෂා කරන බව නිවේදනයක් මඟින් ඔවුන් සඳහන් කර තිබේ.

ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 බැගින් වූ මූල්‍ය පැකේජ දෙකකින් සමන්විත වේ. ඉන් පළමු ඩොලර් මිලියන 100ක මුදල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් ශක්තිමත් මූල්‍ය පද්ධතියක් ගොඩනැගීමේ ප්‍රතිපත්තිමය වැඩසටහනක් සඳහා වෙන්කර තිබේ.

අනෙක් ඩොලර් මිලියන 100ක මුදල එම ව්‍යාපාර සඳහා ආයෝජන ණය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ලබාදීමට නියමිත අතර, එම මුදලින් ඩොලර් මිලියන 40ක් හරිත ණය පහසුකම් සඳහා වෙන්කර ඇත.

එමෙන්ම, ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණවලට ද මෙම වැඩසටහන සහාය ලබාදීමට නියමිතය. ඒ හරහා ණය ලබාදීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම, අසාධාරණ ණය ලබාදීමේ ක්‍රමවේද පාලනය කිරීම සහ ණය තොරතුරු පද්ධති ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

තවද, ණය ඇපකර පහසුකම් පුළුල් කිරීම, ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිභෝගික ආරක්ෂාව වැඩිදියුණු කිරීම ද මෙම වැඩසටහනේ අරමුණු අතරට ඇතුළත් වේ.

මේ අතර, පරිසර හිතකාමී ආයෝජන සහ ක්‍රියාකාරකම්වල නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහභාගී වන මූල්‍ය ආයතන හරහා ණය පහසුකම් ලබාදීමට ද සැලසුම් කර තිබේ.

විශේෂයෙන් මෙම වැඩසටහන යටතේ සහාය ලබන ව්‍යාපාරවලින් අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන්ට අයත් හෝ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර විය යුතු බව ද සඳහන් වේ.

එමෙන්ම, වර්ධන අවධියේ පසුවන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා කොටස් ආයෝජන මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි නව්‍ය මූල්‍ය ක්‍රමවේද හඳුන්වාදීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ මෙම වැඩසටහන යටතේ සහාය ලබාදීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts