සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉරා දමමින් අජිත් පෙරේරා කියූ දේ!

මර්දනකාරී නීති ගෙන එන ආණ්ඩුවට එරෙහිව පවතින ජනතා විරෝධය සංකේතාත්මකව ප්‍රකාශ කිරීම සඳහා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉරා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

එම පත්‍රය ඉරා දමමින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, එම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් වගන්ති 67න් 53ක්ම සංශෝධනය කරන ලෙස දැනුම් දී ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළ පවා එම පනත් කෙටුම්පත ඉදිරියට ගෙන ඒමට උත්සාහ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ බල තණ්හාවෙන් යුතු ක්‍රියාවක් බව ඔහු පෙන්වාදුන්නා.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හෝ විනිශ්චයකාරවරුන් සමඟ සාකච්ඡා කර නොමැති බවත් පළමුවර කියවීමට පෙර පාර්ලිමේන්තුව තුළ පවා ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවත් අජිත් පෙරේරා චෝදනා කළා.

පුරවැසි අයිතීන් සීමා කිරීමටත්, රඳවා ගැනීමේ නියෝග විධායකයට ලබාදීමටත්, අධිකරණ බලය පොලිසිය වෙත පැවරීමේ හැකියාව ලබා දීමටත් මෙම පනත මගින් ඉඩ සැලසෙන බව ඔහු පැවසුවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය සැකකරුවන් රඳවා ගැනීමේ අරමුණින් මෙය ගෙන එන බව පැවසුවද, වගන්ති 55ක් යටතේ බොහෝ වැරදි බරපතළ වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් සාමාන්‍ය ජනතාව පවා දීර්ඝ කාලයක් පොලිස් භාරයේ රඳවා ගැනීමේ අවදානමක් මෙමගින් මතු වන බව මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට පටහැනිව ඔන්ලයින් සේෆ්ටි පනත සම්බන්ධයෙන් සිදු කළාක් මෙන් කූට උපායන් නොයොදා අවශ්‍ය නම් සංශෝධන සහිතව නීති ගෙන එන ලෙසද ඔහු ආණ්ඩුවට අභියෝග කරන බව කියා සිටියා.

එමෙන්ම ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳවද අදහස් දැක්වූ අජිත් පෙරේරා මහතා, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 231 වැනි පිටුවේ සඳහන් කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනකාරී අණපනත් අහෝසි කරන ලෙස ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ස්වාධීන නීති විචාරකයන්ගේ විවේචනයට ලක්ව ඇති ප්‍රතිත්‍රස්ත පනත මගින් පොලිස් නිලධාරීන්ට අධික සහ අනවශ්‍ය බලයක් ලබා දෙන බව පැවසූ අජිත් පෙරේරා, සඳහන් කළේ, එම බලය අනාගතයේදී රටට මෙන්ම වත්මන් පාලකයන්ටද එරෙහිව භාවිත වීමේ අවදානමක් පවතින බවයි.

එවැනි මර්දනකාරී නීති ගෙන ඒමෙන් නැවත බලයට පැමිණිය නොහැකි බවද අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts