බෙන්තොට, කතරගම ඇතුළු ජනාධිපති මන්දිර 05ක් දීර්ඝකාලීන බදු දීමට අභිලාෂ කැඳවයි! අතහැර දැමූ ඇමති නිල නිවාස මහාධිකරණ, CID සහ තානාපති කාර්යාලවලට

දිවයින පුරා පිහිටි ජනාධිපති මන්දිර පහක් දීර්ඝකාලීන බදු පදනම යටතේ බැහැර කිරීම සඳහා මේ වන විට අභිලාෂ කැඳවා ඇති බවත් අමාත්‍යවරුන් විසින් අතහැර දමන ලද නිල නිවාස මහාධිකරණ හතක්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ තානාපති කාර්යාල වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගෙන ඇති බවත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

පසුගිය පාලන සමයන්හිදී පැවති සුඛෝපභෝගී දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් රජය ගෙන ඇති පියවර පිළිබඳව කරුණු අනාවරණය කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ, බෙන්තොට, කතරගම, අනුරාධපුර, මහියංගනය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පිහිටි ජනාධිපති මන්දිර මෙලෙස දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීමට අභිලාෂ කැඳවා ඇති බවයි.

එමෙන්ම අමාත්‍යවරුන් සඳහා වෙන් කර තිබී අතහැර දමන ලද නිල නිවාස මේ වන විට මහාධිකරණ හතක් සඳහා නිල නිවාස හතක් වශයෙන් වෙන් කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා එක් නිල නිවසක් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා එක් නිල නිවසක් ලබාදී ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසුවා.

තවද තවත් නිල නිවසක් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, මීට අමතරව තවත් නිල නිවාස කිහිපයක් තානාපති කාර්යාල සඳහා වෙන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව වාහන 822ක් භාවිත කර තිබූ බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ වෙනුවෙන් අතිශය විශාල ඉන්ධන වියදමක් දරා තිබූ බවයි.

වර්තමානයේදී එම වාහන ප්‍රමාණය විශාල වශයෙන් කප්පාදු කර අත්‍යවශ්‍ය වාහන ප්‍රමාණයක් පමණක් ජනාධිපති කාර්යාලයේ තබාගෙන ඇති බවත් පසුගිය නාස්තිකාර වියදම්වල ප්‍රතිඵල මේ වන විට සිදු කෙරෙන විමර්ශනවලින් එළිදකිමින් පවතින බවත් ඔහු පැවසුවා.

මේ අතර ආනන්ද විජේපාල මහතා කියා සිටියේ, මීට පෙර ජනාධිපති අරමුදලේ මුදල් දුප්පත් ජනතාවගේ ශල්‍යකර්ම වෙනුවට රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර වැනි දේශපාලනඥයන්ගේ හා ඉහළ පන්තියේ අවශ්‍යතා වෙනුවෙන් භාවිත කර තිබූ බවයි.

එලෙස අනීතිකව මුදල් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු සඳහන් කළා.

වර්තමානයේදී ජනාධිපති අරමුදල දුගී දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය පහසුකම්, ශල්‍යකර්ම, දරුවන්ගේ අධ්‍යාපන ප්‍රවර්ධනය සහ ව්‍යවසායකයන් සඳහා වන ස්වයං රැකියා දීමනා වෙනුවෙන් යොදවා ඇති බව ඔහු පෙන්වාදුන්නා.

ඒ අනුව 2025 වර්ෂයේදී ප්‍රතිලාභීන් 166,642ක් වෙනුවෙන් රුපියල් මිලියන 5,645ක් වැය කර ඇති අතර එම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවමින් රුපියල් මිලියන 6,036ක ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට හැකියාව ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙම නව දේශපාලන සංස්කෘතියේ පරිවර්තනයට එරෙහිව පැරණි දේශපාලන සංස්කෘතියේ නෂ්ටාවශේෂ තවමත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හොල්මන් කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Author

Leave a Reply

Related Posts