ඉඟුරුකඩේ අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමේ

නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටසේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් හා පිටවීම් මාර්ග අද (නොවැම්බර් 23) සිට දෙසැම්බර් 01 දක්වා විවිධ කාලසීමාවන් තුළ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඒ අනුව, අද රාත්‍රී 9.00 සිට නොවැම්බර් 25 අලුයම 5.00 දක්වා කාලය තුළ අදාළ මාර්ග සම්පූර්ණයෙන් වසා තැබීමට නියමිතය.

ඉන් අනතුරුව නොවැම්බර් 25, 26 සහ 27 යන දිනවල රාත්‍රී 9.00 සිට පසුදින අලුයම 5.00 දක්වා කාලය තුළ කටුනායක සහ ඔරුගොඩවත්ත දෙසින් පැමිණෙන වාහන සඳහා වන පිටවීමේ මාර්ගය පමණක් වසා තැබෙන බව එම අධිකාරිය සඳහන් කර ඇත.

එමෙන්ම, නොවැම්බර් 28 රාත්‍රී 9.00 සිට දෙසැම්බර් 01 අලුයම 5.00 දක්වා නැවතත් අදාළ මාර්ග වසා තැබීමට එම අධිකාරිය සැලසුම් කර තිබේ.

එම කාලසීමාව තුළ කටුනායක සහ ඔරුගොඩවත්ත දෙසින් පැමිණෙන වාහන සඳහා කොළඹ වරාය සහ ඉඟුරුකඩේ මංසන්ධිය දෙසට ගමන් කරන නව කැලණි පාලමේ පිටවීමේ මාර්ගය වසා තැබෙන අතර, වරාය සහ ඉඟුරුකඩේ මංසන්ධිය දෙසින් කටුනායක හා බොරැල්ල දෙසට ගමන් කරන වාහන සඳහා වන පිවිසුම් මාර්ගය ද වසා තැබීමට නියමිතය.

මේ හේතුවෙන් අදාළ කාලසීමාවන් තුළ කටුනායක සහ මහනුවර දෙසින් කොළඹ වරාය හෝ ඉඟුරුකඩේ මංසන්ධිය වෙත පැමිණෙන රථවාහන පෑලියගොඩ හෝ ඔරුගොඩවත්ත පිටවීම් භාවිත කළ යුතු බව එම අධිකාරිය සඳහන් කර ඇත.

ඔරුගොඩවත්ත දෙසින් කොළඹ වරාය වෙත ගමන් කරන රථවාහන නව කැලණි පාලම ප්‍රදේශයේ බිම් මට්ටමේ මාර්ගය භාවිත කළ යුතු අතර, ඉඟුරුකඩේ මංසන්ධිය හෝ කොළඹ වරාය දෙසින් කටුනායක වෙත ගමන් කරන රථවාහන බිම් මට්ටමේ මාර්ගය ඔස්සේ පෑලියගොඩ පිවිසුම භාවිත කළ යුතු බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Author

Leave a Reply

Related Posts