අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති දූෂණ නඩුවට අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැම්බර් 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා අල්ලස් කොමිසම විසින් විවෘත අධිකරණයේදී කියවා දීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස ප්‍රකාශ කර ඇත.
අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කර ඇති අතර, වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 10 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කර තිබේ.
2006 වසරේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණු විද්‍යාලයේ පාඨමාලාවක් සඳහා යොමු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබේ.
