නැවත හොරු බලයට පත්වන්නේ නම් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි – ධම්මික මුණසිංහ

2024 වසරේදී ජනතාව එක්ව හොරුන් පරාජය කර වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ බවත්, යළිත් හොරුන්ට බලයට පැමිණීමට අවස්ථාව සැලසෙන්නේ නම් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතු බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම 2027 අයවැය මගින් වැඩ කරන ජනතාවට සාධාරණ වැටුපක් හෝ ජීවත්වීමට ප්‍රමාණවත් සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන් නොවැම්බර් 13 වැනිදා සිට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවත් අද (නොවැම්බර් 23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ඇතැම් රාජ්‍ය සේවකයන් වැඩ වර්ජනවල නිරත වන අතර තවත් පිරිසක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවත්, මෙම සියලු වෘත්තීය ක්‍රියාමාර්ගවල ප්‍රධාන ඉල්ලීම ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලබාගැනීම බවත් ඔහු සඳහන් කළේය.

ඒ සඳහා අවම වශයෙන් රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බව ද ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

අයවැයට පෙර මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය ලිඛිතව දැනුවත් කළ ද ආණ්ඩුව ඒ පිළිබඳව අවධානය යොමු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.

එමෙන්ම, වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයා තමන්ට හිතවත් වෘත්තීය සමිති පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා සාකච්ඡා කළ බවත්, අනතුරුව අයවැය සුන්දර එකක් බවත් වැටුප් වැඩිවීම් සිදුවන බවත් ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.

මේ අතර, වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවට චෝදනා කළ ඔහු, අයවැය සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුවේ පිරිස් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතැම් ආයතන ඉදිරිපිටට ගොස් අත්පත්‍රිකා බෙදාහැරීම ඊට උදාහරණයක් බව පැවසීය.

සාමාන්‍යයෙන් අයවැයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුවේ පිරිස් ඇතැම් ආයතන ඉදිරිපිටට ගොස් අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදු නොකරන බවත්, එවැනි තත්ත්වයකට වත්මන් ආණ්ඩුව පත්වීමෙන් එහි දුර්වලතාව පැහැදිලි වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද ජයසිංහගේ වත්මන් ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළේ අතීතයේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටි මහින්ද ජයසිංහ අද දරන ස්ථාවරය සහ එදා ඔහු දැරූ ස්ථාවරය අතර පැහැදිලි වෙනසක් පවතින බවයි.

එහිදී ඔහු මහින්ද ජයසිංහ අතීතයේ සිදුකළ ප්‍රකාශයක හඬපටයක් දුරකථනයෙන් මාධ්‍ය හමුවේ ප්‍රචාරය කළේය. “හෙට අපේ සියලුම උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. ආණ්ඩුකාර කාර්යාල වට කරන්නත් අපි සූදානම්. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා පුළුවන් නම් එක ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයෙකුගේ හෝ වැටුප නතර කරලා පෙන්වන්න. එක දවසක වැටුපක් හරි කපලා පෙන්වන්න. එක්කෙනෙකුගේ හරි සේවය අවසන් කරලා පෙන්වන්න.”

එවැනි ස්ථාවරයක් දැරූ මහින්ද ජයසිංහ අද ආණ්ඩුවේ බලය සමඟ සිටිමින් වැඩ කරන ජනතාවගේ අරගලයට පිටුපාන්නේ ඇයිද යන්න ප්‍රශ්න කළ ධම්මික මුණසිංහ මහතා, ඔහු නැවතත් තමන් අතීතයේ නියෝජනය කළ ජනතාවගේ පැත්තේ පෙනී සිටිය යුතු බව ද ප්‍රකාශ කළේය.

තවද, ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසු තමන් බලයට පත් කළ ජනතාවටම චෝදනා කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට ද ඔහු ආණ්ඩුව විවේචනය කළේය.

මේ අතර, ජනතාව මත බදු බර පටවා ඔවුන් තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එකදු බද්දක් හෝ පනවා නොමැති බවට ප්‍රකාශ කරන්නේ නම් ඩිජිටල් සේවා බද්ද පැනවූයේ කවුරුන්ද යන්න ප්‍රශ්න කළේය.

එමෙන්ම, සේවා අපනයනය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ බදු සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ පිළිබඳව ද ආණ්ඩුව පැහැදිලි කළ යුතු බව ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණට සහ එහි වෘත්තීය සමිතිවලට තමන්ගේ අතීත ක්‍රියාකාරකම් අමතක වී ඇති බවට ද චෝදනා කළ ධම්මික මුණසිංහ මහතා, ඔවුන් අතීතයේ තමන් දැරූ ස්ථාවරයන් අමතක කරමින් අද ජනතාවට දෙස් දෙවොල් දෙන තත්ත්වයකට පත්ව ඇති බවට ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts