30 වෘත්තීය ක්‍රියාමාර්ගය ස්ථිරයි… මහින්ද ජයසිංහට මුල මතක නෑ, ඔහු ගුරු සහ විදුහල්පතිවරුන්ට ඔච්චම් කරනවා – ජෝෂප් ස්ටාලින්

වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව අවස්ථා තුනකදී රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට පියවර ගෙන තිබියදීත්, වෘත්තීය සමිති විසින් වැඩ වර්ජන සහ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීම කිසිසේත් සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි. ඊයේ (23) දිනයේදී රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් සිදු කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කර තිබියදී වැඩ වර්ජන කිරීම අසාධාරණ බවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ කළ ප්‍රකාශය, මෙරට සමස්ත කම්කරු පන්තියට සහ ගුරු-විදුහල්පතිවරුන්ට කරන ලද උද්දච්ච ඔච්චම් කිරීමක් බව, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

ජෝශප් ස්ටාලින් සඳහන් කළේ, පාලන බලයට පත්වීමට පෙර ගුරු-විදුහල්පතිවරුන්ගේ ඉතිරි වැටුප් විෂමතාවයෙන් තුනෙන් දෙකක් (2/3) ලබා ගැනීම සඳහා මහින්ද ජයසිංහ ඇතුළු සියලු දෙනා එක්ව අරගල කළ බවයි. එහෙත් පාලකයන් බවට පත් වූ වහාම ඔවුන් එම ස්ථාවරයන් වෙනස් කර ඇති බවට ඔහු චෝදනා කළේය.

කම්කරු නියෝජ්‍ය ඇමතිවරයා, ප්‍රබල වෘත්තීය සමිති නායකයා මහින්ද ජයසිංහ සහෝදරයා කිව්වේ මොකක්ද? ඕගොල්ලන්ගේ ඉල්ලීම් අපි දෙන්නේ නෑ. මේක තමයි ක්‍රියාත්මක කරන්නේ, එතකොට කොච්චර ඉල්ලුවත්, කොච්චර අරගල කළත් මේවා දෙන්නේ නෑ. ඇත්තටම මොන තරම් උද්දච්ච ප්‍රකාශයක් ද?. අපි සහ මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුළු සියලු දෙනා 2011 ඉඳන් ඉදිරිපත් කරපු වැටුප් යෝජනාවෙන් තුනෙන් එකක් දුන්නා. ඉතිරි තුනෙන් දෙක ලබා ගැනීමට තමයි අපි සියලු දෙනා සටන් කළේ. ඒ ඉල්ලීම් නෙමෙයි, අපි අරගල කරපු අරගල. අරගල කරලා අපි ඉල්ලීම් ලබා ගත්තේ නැද්ද? එතකොට එහෙම අත්දැකීම් තියෙන මේ රටේ ගුරු සහ විදුහල්පතිවරුන්ට තමයි මේ ඔච්චම් කරන්නේ. මේ රටේ කම්කරු පන්තියට තමයි ඔච්චම් කරන්නේ.

මේ ඉල්ලීම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගය ගැනීම පැත්තකින් තියලා ඒවා අපි දෙන්නෑ. සොරි. ඒවා දෙන්න විදිහක් නෑ. ඒවා දෙන්නෑ අපි. එහෙම කතා කරන්නේ කොහොමද? මේ අපි ඔක්කොම එකට අරගල කරපු අයනේ. පාලන බලයට පත්ව, පාලකයා බවට රූපාන්තරණය වුණ හැටියේ ඔවුන්ගේ අදහස් වෙනස් කරනවා නම් ඒකෙන් පේන්නේ මොකක්ද? ඔවුන්ගේ තියෙන ඇත්ත ස්වභාවය.

පසුගිය 2024 ජූනි 26 වැනිදා කොළඹට ගුරුවරුන් 10,000කට අධික පිරිසක් පැමිණ වැටුප් විෂමතාවයේ ඉතිරි තුනෙන් දෙක ඉල්ලා සිදු කළ අරගලයේදී ගුරුවරුන් කිහිප දෙනෙකුගේ ඇස් තුවාල වූ බවත්, එක් ගුරුවරයෙකු තවමත් පූර්ණ අන්ධභාවයට පත්ව සිටින බවත් ජෝශප් ස්ටාලින් සිහිපත් කළේය. එවැනි කැපකිරීම් හරහා බලයට පැමිණි ආණ්ඩුවක් ගුරු-විදුහල්පති ඉල්ලීම් පසෙකලා කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

2025 සැප්තැම්බර් 21. ජූනි මාසේ 26 වෙනිදා කොළඹට ගුරුවරු 10,000කට වැඩි පිරිසක් ඇවිල්ලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරා වහාම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය තුනෙන් දෙකක් දෙන්න කියලා. ගුරුවරු කිහිප දෙනෙකුගේ ඇස් තුවාල වුණා. එක්කෙනෙක් තවමත් අන්ධ භාවයට පත් වෙලා ඉන්න ගුරුවරයෙක්. එතකොට එවැනි තත්ත්වයකත් අපි අරගල කරලා ආයි මතක් කරන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ගුරුවරුන්ගේ අරගල තුළින්, මේ අරගල වල ප්‍රතිඵලයක් හැටියට බලයට ආපු ආණ්ඩුවක් ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් පැත්තකට දාලා නම් ගමන් කරන්නේ, ඒක මතක් කරලා දිනා ගැනීම තමයි අපේ වගකීම හැටියට අපි දකින්නේ.

මේ අතර, සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගුරු-විදුහල්පති සන්ධානය ඇතුළු සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව එළඹෙන 30 වැනිදා එක්දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇති බව ජෝශප් ස්ටාලින් නිවේදනය කළේය.

එළඹෙන 30 වැනිදා අපි ගුරු විදුහල්පති සන්ධානයටත් සියලු වෘත්තීය සමිතිත් ඒකාබද්ධව අපි ගුරු සහ විදුහල්පතිවරුන්ගේ එක් දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයක් යෝජනා කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් අපේ ක්‍රියාමාර්ග ශක්තිමත්ව ගන්නවා.

අධ්‍යාපන පද්ධතියේ ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය ඇතුළු සියලුම ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති මේ වන විටත් මෙම ක්‍රියාමාර්ගයට සක්‍රීයව දායක වීමට එකඟතාව පළ කර ඇති බව පැවසූ ඒ ජෝශප් ස්ටාලින්, ඊට සහභාගී නොවන එකම කණ්ඩායම නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ නියෝජනය කරන ලංකා ගුරු සේවා සංගමය පමණක් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Leave a Reply

Related Posts