බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි නාමල්, ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලයි

සිර දඬුවම ස්ථිරවී ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට මැදිහත් වන ලෙස බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.

ඉස්ලාම් ආගමට අගෞරව කිරීමේ චෝදනාව මත සෞදි අරාබියේදී මරණ දඬුවමට නියමවූ අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරා දෙන ලෙස එරට නායකයාගෙන් ඉල්ලීමක් කිරීමට ජනාධිපතිවරයාට හැකි වූයේ නම් මෙරට තුළ එවැනිම චෝදනාවකට ලක්ව සිටින ඥානසාර හිමියන් සම්බන්ධයෙන්ද එලෙසම කටයුතු කිරීමට ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව හැකියාව තිබිය යුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අනෝජන් තරුණයා සම්බන්ධයෙන් ආණ්ඩුව සාධනීය මැදිහත්වීමක් සිදු කළ බවත් ඒ අනුව ඉස්ලාම් රටක් වුවද සෞදි රජය එම තරුණයාගේ මරණ දඬුවම ඉවත් කිරීමට තීරණය කළ බවත් පැවසූ නාමල් රාජපක්ෂ, ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් එය හුදෙක් දේශපාලනික කාරණයක් මත සිදු වන්නක් ලෙස පමණක් දැකීමට සිදු වන බවට සඳහන් කළා.

මේ අතර පසුගියදා මෙරට මුහුදු තීරයේදී ඉරාන නෞකාවකට මුහුණ දීමට සිදුවූ සිද්ධියේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුව කටයුතු කරමින් එම නෞකාවේ සිටි පිරිස බේරා ගැනීමට ආණ්ඩුව පියවර ගැනීම පිළිබඳව සතුටු වන බව නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

කෙසේ වෙතත් මෙරටට අයත් මුහුදු තීරයක සිදු වූ එම සිදුවීම පිළිබඳව රජය කල්තියා දැනුවත්ව සිටියේද නැද්ද යන්න පිළිබඳව පිළිතුරක් ලබා දීමට ආණ්ඩුව අපොහොසත්වී ඇති බවට ඔහු චෝදනා කළා.

සමුද්‍රීය කලාපීය දැනුවත්භාවය පිළිබඳව රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා, 2011 වසරේදී ඉන්දියාව සහ සීෂෙල්ස් වැනි රටවල් සමඟ ආරම්භ කළ කොළඹු සෙකියුරිටි කොන්ක්ලේව් වැඩපිළිවෙළ යළි සක්‍රීය කරන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම පසුගිය වසරේ අයවැයෙන් අදාළ අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කළ රුපියල් මිලියන 2,119ක මුදලින් වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 420ක් හෙවත් 20%ක් පමණක් බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

එමෙන්ම ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගත වී ඇතත් චීනය, ඇමරිකාව, ජර්මනිය සහ කැනඩාව වැනි ප්‍රධාන රටවල් ගණනාවකට මෙතෙක් තානාපතිවරුන් පත් කර ගැනීමට අපොහොසත්වී ඇති බවට ඔහු පවසනවා.

නව වෙළෙඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර අදාළ රටවලට තානාපතිවරුන් පත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි මන්ත්‍රීවරයා, අදානි සහ චයිනා මර්චන්ට් වැනි ආයෝජකයන් හරවා යැවූ ආණ්ඩුව, ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී අත්සන් කළ ඩොලර් බිලියන 4ක ආයෝජන බිම් මට්ටමේ යථාර්ථයක් බවට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියා.

තවද ඊශ්‍රායල රැකියා සම්බන්ධ ගැටලුවලට මැදිහත් වන ලෙසත් මැදපෙරදිග කලාපීය අර්බුද හමුවේ අහිමි විය හැකි රැකියා වෙනුවෙන් නව විදේශ රැකියා වෙළෙඳපොළවල් සොයා ගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු රජයෙන් ඉල්ලා සිටියා.

2026 ජනවාරි මාසයේ සිට අතීතයට බලපාන පරිදි සංචාරක ආදායම ගණනය කිරීමේ සූත්‍රය වෙනස් කිරීමට ශ්‍රී ලංකා සංචාරක බලධාරීන් පියවර ගෙන ඇති බවට EconomyNext සඟරාව වාර්තා කර ඇති බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා, සංචාරක ආදායම අඩු වීම වැඩි කර පෙන්වීම සඳහා මෙලෙස ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කළේදැයි ප්‍රශ්න කළා.

මීට අමතරව ආණ්ඩුව මහා පරිමාණ හෝටල් හිමියන් සමඟ පමණක් ගනුදෙනු කරමින් සංචාරක වාරය ආරම්භ වීමත් සමඟ ගොයම්බොක්ක, මිරිස්ස, උණවටුන සහ වැලිගම වැනි ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කඩසාප්පු කඩා ඉවත් කරමින් ඔවුන්ට පහර දෙන බවටද මන්ත්‍රීවරයා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා උද්ධමනය 9%ක් බව ප්‍රකාශ කර තිබියදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී උද්ධමනයක් නොමැති ආකාරයෙන් අදහස් පළ කළ බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

උද්ධමනයට අනුකූලව මාස හයෙන් හයට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවට පොරොන්දුවී බලයට පැමිණි ආණ්ඩුව, අද වන විට වෘත්තීය සමිති අරගල මර්දනය කිරීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළා

එබැවින් 30 වැනිදාට පෙර වෘත්තීය සමිති ව්‍යාපාරයට ඇහුම්කන්දී ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts