රජය IMF වෙතින් ණය කොන්දේසි සහන ඉල්ලයි

විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ නියම කර තිබූ ඇතැම් කාර්ය සාධන ඉලක්ක සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්, ඒ සඳහා නිදහස් කිරීම් (Waivers) ලබා දෙන ලෙසත්, ඉදිරි කාලසීමාව සඳහා වූ ඉලක්ක සංශෝධනය කරන ලෙසත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලීම් දෙසැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිත IMF විධායක මණ්ඩල රැස්වීමේදී සලකා බැලීමට නියමිත බව එම අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදුකරන නිත්‍ය සමාලෝචනයක් වන ‘Article IV Consultation’ හෙවත් IV වන වගන්තිය යටතේ වන උපදේශනය ද විධායක මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතය.

එමෙන්ම, සපුරාලීමට නොහැකි වූ කාර්ය සාධන නිර්ණායක සඳහා නිදහස් කිරීම් ලබාදීම සහ ඉදිරි කාර්ය සාධන නිර්ණායක සංශෝධනය කිරීම පිළිබඳව ද එහිදී තීරණයක් ගැනීමට නියමිත බව සඳහන් වේ.

IMF වැඩසටහන යටතේ කාර්ය සාධන නිර්ණායක යනු ණය වාරික අඛණ්ඩව ලබා ගැනීම සඳහා රටක් විසින් නියමිත කාලසීමාවන් තුළ සපුරාලිය යුතු ප්‍රමාණාත්මක ඉලක්ක වේ. එවැනි ඉලක්ක සපුරාලීමට නොහැකි වූ අවස්ථාවකදී, අදාළ සමාලෝචනය අවසන් කර ණය වාරිකය ලබාදීමට හැකි වන පරිදි IMF විධායක මණ්ඩලයට නිදහසක් ලබාදිය හැකිය.

එමෙන්ම, වෙනස් වන ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ඉදිරි කාලසීමාවන් සඳහා නියම කර ඇති ඉලක්ක සංශෝධනය කිරීම ද මෙවැනි ඉල්ලීමක අරමුණ වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව විසින් සපුරාලීමට නොහැකි වී ඇති නිර්ණායක මොනවාද යන්න හෝ ඉදිරි ඉලක්ක සංශෝධනය කිරීමට යෝජනා කර ඇති ආකාරය පිළිබඳව IMF නිවේදනයේ වැඩිදුර තොරතුරු අනාවරණය කර නොමැත.

මෙම විධායක මණ්ඩල සමාලෝචනය පැවැත්වෙන්නේ IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර හත්වන සමාලෝචනය සම්බන්ධයෙන් 2026 ඔක්තෝබර් 4 වැනිදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට (Staff-Level Agreement) එළැඹීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත්, අදාළ ණය වාරිකය ලබා ගැනීම සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම තවත් කොන්දේසි කිහිපයක් මත රඳා පවතී.

ඒ අනුව, IMF වැඩසටහනේ ඉලක්ක හා පරාමිතීන්ට අනුකූල වන පරිදි සකස් කළ 2027 අයවැය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම අත්‍යවශ්‍ය වේ.

මීට අමතරව, මූල්‍ය සහතික කිරීම් පිළිබඳ සමාලෝචනයක් (Financing Assurances Review) ද සම්පූර්ණ කළ යුතුය. එමඟින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ IMF වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ණය සහන හා මූල්‍ය සහාය ණයහිමියන් විසින් ලබාදෙන බව තහවුරු කෙරේ.

Author

Leave a Reply

Related Posts