වරායට බඩු ඇවිත් තියෙද්දී ආයතනය මාස දෙකක් වහන් හිටියා! – බඩඉරිඟු ටොන් 2000ක් සිරවී ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩාල වූ හැටි සභාපති හෙළි කරයි

ආනයනය කරන ලද බඩඉරිඟු මෙට්‍රික් ටොන් 2000ක් වරායේ සිරවී තිබීම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදන කටයුතුවලට දැඩි බාධා එල්ලවී ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා කෝප් කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළා.

එහිදී කරුණු දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, 2024 වසරේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ගෙන්වූ එම බඩඉරිඟු තොගය වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිවූ බවත් ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තු ගැටලු සහ නැවත කැබිනට් අනුමැතියක් අවශ්‍ය වීම වැනි කරුණු මතුවූ බවයි.

එම තත්ත්වය මත වරායට තොග පැමිණ තිබියදීත් ආයතනය මාස දෙකක් පමණ වසා තැබීමට සිදු වූ බවත් අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ද ප්‍රමාදයන් සිදු වූ බවත් ඔහු පෙන්වාදෙනවා.

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ඉරිඟු, කිරිපිටි, සෝයා, මිනරල් සහ විටමින් යන අමුද්‍රව්‍ය පහ භාවිත කරන බව සඳහන් කළ සභාපතිවරයා, වත්මන් නිෂ්පාදන බාධාවලට ප්‍රධානතම හේතුව බඩඉරිඟු සැපයුම බව කියා සිටියා.

තමන් ධුරය භාර ගැනීමෙන් අනතුරුව අනුරාධපුර ගබඩාවක ගොවීන් 15 දෙනෙකුගේ බඩඉරිඟු සාම්පල පරීක්ෂාවට ලක් කළ බව පැවසූ සභාපතිවරයා සඳහන් කළේ, ඒ සියල්ලේම ඇෆ්ලටොක්සින්ම ට්ටම් ඉහළ අගයක පැවති බවත් ගබඩා කිරීමේ සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී දින 120ක් පමණ රඳවා තැබීම වැනි පිළිවෙත් දේශීය ගොවීන් අතින් සිදු නොවන බැවින් නිමි භාණ්ඩයේ ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා ඇෆ්ලටොක්සින් මට්ටම 5ට අඩු ආනයනික බඩඉරිඟු මත යැපීමට සිදුවී ඇති බවයි.

එමෙන්ම ඇෆ්ලටොක්සින් පරීක්ෂා කිරීම සඳහා රුපියල් කෝටි තුනහමාරකට හෝ හතරකට ආසන්න මුදලකින් නව යන්ත්‍ර මිලදී ගෙන ඇති බවද ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාව පරිදි මසකට ග්‍රෑම් 750 ත්‍රිපෝෂ පැකට් 1,194,000ක් පමණ නිෂ්පාදනය කළ යුතු වුවද මේ වන විට ඉටු කර ගැනීමට හැකිවී ඇත්තේ අවශ්‍යතාවෙන් 49.5%ක් පමණ බව අමල් අත්තනායක මහතා පවසනවා.

එමෙන්ම වසර අවසන් වන විට එය 60% දක්වා ඉහළ නැංවීමට හැකියාව පවතින බව ඔහු පැවසුවා.

එමෙන්ම මාස හයේ සිට අවුරුදු තුන දක්වා දරුවන් වෙනුවෙන් ලබා දෙන සහල් පදනම් කරගත් නිෂ්පාදනයේ මාසික අවශ්‍යතාව 593,460ක් වන අතර ආයතනයේ ධාරිතාව 556,000ක් වුවද සහල්වලද ඇෆ්ලටොක්සින් හඳුනා ගැනීම හේතුවෙන් එම නිෂ්පාදනය නතර කර පර්යේෂණ ආයතන වෙත යොමු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිරියේදී ගොවීන් 7 500ක් සම්බන්ධ කරගනිමින් සහ ගබඩා පහසුකම් ඇති කරමින් “සෝයා ඇන්ඩ් ග්‍රෝ” වැනි ව්‍යාපෘති හරහා දේශීයව අමුද්‍රව්‍ය සපයා ගැනීමට සහ ආනයන වියදම් අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවද සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts