සද්ධාරතනට වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් රාජාංගනයේ සද්ධාරතන හිමිව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 25) වරෙන්තු නිකුත් කර තිබේ.

ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව එම නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් සද්ධාරතන හිමිට වරෙන්තු හා එහිමියන්ගේ ඇපකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කටයුතු කර ඇත.

අදාළ නඩුව රස පරීක්ෂක වාර්තා සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන පෙබරවාරි 24 වැනිදා යළි කැඳවීමට ද අධිකරණය නියම කර තිබේ.

මෙම නඩුවට අදාලව ලැබුණු පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව රාජාංගනයේ සද්ධාරතන හිමියන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම හිමියන් ඇප මත මුදා හැර තිබිණි.

ඉන් අනතුරුව අනුරාධපුර පූජා භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ද සද්ධාරතන හිමි අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සිද්ධියට අදාළව එහිමියන් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts