විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය දීමේ යෝජනාව රටේ අනාගතයට භයානක තත්ත්වයක් – ගම්මන්පිල

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මිලියන හයකට අධික පිරිසකට ඡන්ද බලය ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, එය රටේ අනාගතය පිළිබඳ අතිශයින්ම භයානක තත්ත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය. එම පක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට පුරවැසිකම සහ ඡන්ද බලය ලබා දීමට ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හරහා රටේ ජනමතය විකෘති වන බවත් එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු 13කින් යුත් ලිපියක් මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය වසර 50ක පමණ කාලය තුළ විදේශ රටවල පුරවැසිකම ලබාගත් පිරිස ලක්ෂ 20කට අධික බවත්, ඔවුන්ගේ දරුවන් සහ මුණුබුරු මිනිබිරියන් ඇතුළු සමස්ත පිරිස ලක්ෂ 60ක් හෙවත් මිලියන හයකට අධික වන බවත් ගම්මන්පිල මහතා පැවසීය. දැනට සිටින මිලියන 18ක පමණ ඡන්දදායකයන් සමඟ සසඳන විට මෙය විශාල ප්‍රතිශතයක් බවත්, එම පිරිසෙන් වැඩි දෙනෙකු බෙදුම්වාදී මතවාද දරන පිරිස් බවට ඔහු චෝදනා කළේය.

මැතිවරණ ප්‍රතිඵලවල බලපෑම සෘජුවම විඳින පිරිස රට තුළ ජීවත් වන ජනතාව වුවද, විදේශගතව සිට ඡන්දය දෙන පිරිසට එහි ප්‍රතිඵල සෘජුව බල නොපාන බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, රටේ පවතින ආර්ථික අර්බුද, උද්ධමනය, විරැකියාව, ඖෂධ සහ පොහොර හිඟය වැනි ගැටලුවලට මුහුණ නොදෙන පිරිසක් මගින් රටේ නායකයා තීරණය වීම මගින් රටේ ජනතාවට ආණ්ඩුවට බලපෑම් කිරීමේ හැකියාව අඩු වන බව ද ඔහු අවධාරණය කළේය.

තවද, මැතිවරණ නීති පිටරටවලදී ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු මෙන්ම, ඇතැම් විදේශ රටවල් තමන්ට වීසා ලබා නොදීම හේතුවෙන් අපේක්ෂකයන් අතර සම අවස්ථා අහිමි වන බව ද ගම්මන්පිල සඳහන් කළේය. මැතිවරණවලදී ජයග්‍රහණය කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් ආණ්ඩුව මෙවැනි යෝජනා ඉදිරියට ගෙන යමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය.

1983 ජූලි කලබලවල අමිහිරි අත්දැකීම් සමඟ බොහෝ දෙනෙකු රට හැර ගිය බවත්, ඉන් අනතුරුව වසර 40කට ආසන්න කාලයක් කොටි සංවිධානය විදෙස්ගත දෙමළ ප්‍රජාව ජාලගත කරමින් නඩත්තු කළ බවත් ඔහු සඳහන් කළේය. වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් ලැබූ එම සංවිධානය පූර්ණකාලීනයන් හරහා එම ජාලය ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන ගිය බව ද ඔහු පැවසීය.

කැනඩාවේ සහ යුරෝපයේ ඉරිදා දිනවල පවත්වන සංස්කෘතික පාසල් මගින් දේශීය සංස්කෘතිය ඉගැන්වීමට අමතරව, සිංහල ජනතාව කෙරෙහි වෛරය සහ බෙදුම්වාදී මානසිකත්වය ඇති කිරීමට සූක්ෂමව කටයුතු කරන බව බුද්ධි අංශ විසින් අනාවරණය කර පොත්පත් පවා පළ කර ඇති බව ගම්මන්පිල පැවසීය.

එවැනි පසුබිමක් තුළ රටට වෛර කරන විශාල පිරිසක් ඊළඟ මැතිවරණයේ ඡන්දදායකයන් බවට පත්වීම රටේ අනාගතයට අතිශය භයානක තත්ත්වයක් බව ද ඔහු අවධාරණය කළේය.

ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් විදෙස්ගත පිරිසට පුරවැසිකම ලබා දීමේ යෝජනාව සමඟ ඉදිරියට යාමට ආණ්ඩුව සූදානම් වන බව අයවැය කතාවෙන් පෙනී යන බව ගම්මන්පිල ප්‍රකාශ කළේය. මුලින් විදෙස්ගත අයට ඡන්ද අයිතිය ලබා දීම පමණක් යෝජනා වී තිබුණද, දැන් නොමිලේ පුරවැසිකම ලබා දීම හරහා විශාල ඡන්ද ප්‍රමාණයක් ගොඩනඟා ගනිමින් රටේ ජනමතය විකෘති කිරීමට උත්සාහ කරන බව ඔහු පැවසීය. රටේ ජනතාවගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ නොහැකි බවට මාලිමාව තුළ ඇති වූ මානසිකත්වය මෙම යෝජනාවෙන් තහවුරු වන බව ද ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ මගින් රටට දැවැන්ත හානියක් සිදුවන බැවින් ඊට විරුද්ධ වීම රටට ආදරය කරන සෑම පුරවැසියෙකුගේම යුතුකමක් බවත්, මාලිමා ආණ්ඩුව කෙටි කාලීන වුවද රට ඉදිරියට පැවතිය යුතු බවත් ගම්මන්පිල අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවෙන් බැහැර වෙලා විදේශ රටවල පුරවැසිකම් ලබාගත් ශ්‍රී ලාංකිකයන් ගණන කීයද කියන්න නිල සංඛ්‍යා ලේඛන ආණ්ඩුව සතුවවත් නෑ. දළ ඇස්තමේන්තුවක් තියෙනවා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 20කට අධික පිරිසක් ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටවල පුරවැසිකම ලබාගෙන තිබෙනවා. මේ ඇයි මේ කියන්නේ අර මැද පෙරදිග වගේ රැකියාවට ගිය අය නෙවෙයි. වෙනත් රටවල පුරවැසිකම ලබාගත්ත අය විශේෂයෙන් පහුගිය අවුරුදු 50ක් වගේ ඇතුළත පුරවැසිකම ලබාගත්ත පිරිස ලක්ෂ 20කට අධිකයි. මේ ලක්ෂ 20ක් කිව්වත් ඔවුන්ගේ දරුවන් සහ දරුවන්ගේ දරුවන් කියන සියලුම දෙනා ගත්තොත් ලක්ෂ 60කට අධික පිරිසක්. ලක්ෂ 60කට මිලියන හයකට අධික පිරිසකට තමයි ඡන්ද බලය ලබා දීමට ආණ්ඩුව කටයුතු කරන්නේ.

මේ වෙනවිට සමස්ත රටේ පුරවැසි ඡන්ද දායකයන් ගන්න මිලියන 18යි. එතකොට තවත් මිලියන හයකට පිටරට ඉන්න අයට ඡන්ද බලය ලබා දෙනවා කියන්නේ රටේ ඡන්ද දායකයන්ගෙන් 30%කට වගේ ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙන්නේ පිටරටවල. ලංකාවේ පුරවැසිකම අත්හැරලා වෙනත් රටක පුරවැසි භාවය ලබාගත්ත පිරිසක් සමස්ත ඡන්ද දායකයන්ගෙන් 25%කට අධික පිරිසක් බවට පත්වෙනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්.

ඒ ඇයි? ඔය කියන පිරිසෙන් වැඩිපුර දෙනෙක් ඉන්නේ දෙමළ බෙදුම්වාදී මතවාදයෙන් ගේ සිත දූෂණය කරගෙන. අද එය බොහෝ අය මේ රටෙන් ගියේ 83 ජූලි කලබල වල අමිහිරි අත්දැකීම් සහිතව. ඊට පස්සේ කොටි සංවිධානය මේ විදේශගත දෙමළ ප්‍රජාව ජාලගත කරලා ඔවුන්ව නඩත්තු කරගෙන යනවා අවුරුදු 40ක් විතර. කොටි සංවිධානයට වාර්ෂිකව ඩොලර් මිලියන 300ක පමණ ආදායමක් තිබෙන නිසා මේ ජාලය ඉතාම කාර්යක්ෂමව පරිපූර්ණව පූර්ණ කාලීනයන් හරහා නඩත්තු කරනවා.

අර ජනතා විමුක්ති පෙරමුණ වගේ පූර්ණ කාලීන නැගින අනිත් ආයතනය තමයි කොටි සංවිධානය. දෙකම ත්‍රස්තවාදී. එතකොට මේ මේ අය කැනඩාවේ සහ යුරෝපයේ ඉරිදා දිනවල පවත්වන සංස්කෘතික පාසල් වලින් දේශීය සංස්කෘතිය ගැන උගන්වනවට අමතරව බෙදුම් සිංහල ජනතාව ගැන වෛරය වැපිරීමටත් බෙදුම්වාදී මානසිකත්වයක් ඇති කරන්නත් ඉතාම සූක්ෂමව කටයුතු කරන බව අපේ බුද්ධි අංශ හොයාගෙන ඒ පිළිබඳ පොත්පත් පවා පළ කර තිබෙනවා. මෙන්න මේ පසුබිම යටතේ මේ රටට වෛර කරන විශාල පිරිසක් මේ රටේ ඊළඟ මැතිවරණයේ ඡන්ද දායකයන් වීම රටේ අනාගතය පිළිබඳ අතිශයින්ම භයානක තත්ත්වයක් බවට පත්වෙනවා.

මුලින් තිබ්බේ විදෙස්ගත අයට ඡන්ද අයිතිය දෙන්න විතරයි. දැන් ඉතින් නොමිලේ පුරවැසිකමක් දෙනවා කියන්නේ මහා දැවැන්ත ඡන්ද කුට්ටියක් හදාගෙන රටේ ජනමතය විකෘති කරන්න. එක පැත්තකින් රටේ ජනතාවගේ ඡන්දෙන් නම් අපිට දිනන්න බෑ කියන මානසිකත්වයට මාලිමාව ආවා කියන එක තහවුරු වෙනවා මේ යෝජනාවෙන්. නමුත් රටට දැවැන්ත හානියක් වෙන්නේ. ඒ නිසා මේ ව්‍යාපෘතියට විරුද්ධ වීම මේ රටට ආදරය කරන සෑම පුරවැසියෙක්ගෙම යුතුකමක්.

Author

Leave a Reply

Related Posts