මිනිත්තු ගණනකට හිරු අතුරුදහන් වූ යුරෝපා අහස

ඊයේ (අගෝස්තු 12) පස්වරුවේ උතුරු ස්පාඤ්ඤයේ වෙරළ තීරයන් සහ කඳුකර ප්‍රදේශයන් වෙත දහස් සංඛ්‍යාත ජනකායක් එක්රොක් වී සිටියේ මහා විශ්මයජනක අභ්‍යවකාශ සිදුවීමකට සාක්ෂි දැරීමටය. හිරු බැස යාමට ආසන්නව තිබියදී, ක්ෂණයකින් මුළු අහසම අඳුරේ ගිලී ගිය අතර, සූර්යයා වෙනුවට අහසේ මතුවී ඇත්තේ රිදී පැහැති ආලෝක වළල්ලකි. වාර්තා වන අයුරින්, 2026 අගෝස්තු 12 වන දින සිදුවූ මෙම පූර්ණ සූර්යග්‍රහණය, වසර 27 කට පසු යුරෝපා මහාද්වීපයට දර්ශනය වූ පළමු පූර්ණ සූර්යග්‍රහණය ලෙස ඉතිහාසයට එක්වී ඇත.

තාරකා විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, බොහෝ පූර්ණ සූර්යග්‍රහණ පෘථිවිය හරහා ගමන් කරන්නේ නැගෙනහිර සිට බටහිරට විහිදෙන ඍජු රේඛාවකය. නමුත් මෙවර සූර්යග්‍රහණය ඊට වඩා වෙනස්ම මගක් ගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව, සඳෙහි සෙවනැල්ල ප්‍රථමයෙන්ම පතිත වී ඇත්තේ රුසියාවේ දුරස්ථ තායිමීර් (Taymyr) අර්ධද්වීපයටය. පසුව එය උත්තර ධ්‍රැවයට ඉහළින් වක්‍රව ගමන් කර ග්‍රීන්ලන්තයේ නැගෙනහිර වෙරළට පහළින් වැටී, අයිස්ලන්තයේ බටහිර මායිම හරහා ගොස්, අවසානයේ බැලෙයරික් දූපත් (Balearic Islands), ස්පාඤ්ඤ මහාද්වීපය සහ පෘතුගාලයේ කුඩා කොනක් හරහා ගමන් කර ඇති බව වාර්තා වේ.

අයිස්ලන්තය සහ ග්‍රීන්ලන්තය අතර විවෘත සාගරයට ඉහළින් පූර්ණ සූර්යග්‍රහණය උපරිමව පැවතී ඇත්තේ මිනිත්තු 2 යි තත්පර 18 ක පමණ කාලයකි. සෙවනැල්ල ස්පාඤ්ඤයට ළඟා වන විට, එය සැඳෑ සමය වී ඇති අතර, පූර්ණ ග්‍රහණයට ලක්වූ සූර්යයා ක්ෂිතිජයට ඉහළින් රතු පැහැයෙන් දිස් වී ඇති බව (දේශීය වේලාවෙන් රාත්‍රී 8:26 ත් 8:33 ත් අතර) නිරීක්ෂකයින් සඳහන් කර තිබේ.

මෙම පූර්ණ සූර්යග්‍රහණ මාර්ගයට පිටතින් පිහිටි එක්සත් රාජධානිය, අයර්ලන්තය සහ බොහෝ යුරෝපීය රටවලට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දර්ශනය වී ඇති බව කාලගුණ හා තාරකා විද්‍යා වාර්තා පෙන්වා දෙයි. ලන්ඩන් නුවර සූර්යයාගෙන් 91% ක් පමණ වැසී ගොස් ඇති අතර, නිරිතදිග කෝන්වෝල් (Cornwall) ප්‍රදේශයට එය 96% ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන අන්දමට, මෙය 1999 වසරෙන් පසු බ්‍රිතාන්‍ය වැසියන් දුටු වඩාත්ම විශ්මයජනක සූර්යග්‍රහණය ලෙස හැඳින්වේ.

සූර්යග්‍රහණ සෑම මසකම සිදු නොවන්නේ ඇයි?
විද්‍යාත්මක පැහැදිලි කිරීම්වලට අනුව, චන්ද්‍රයා සෑම මසකම පෘථිවිය වටා ගමන් කළද, සූර්යග්‍රහණයක් සිදුවන්නේ කලාතුරකිනි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, චන්ද්‍රයාගේ කක්ෂය පෘථිවිය සූර්යයා වටා යන කක්ෂීය තලයට සාපේක්ෂව අංශක 5 ක පමණ කුඩා ඇලවීමකින් පිහිටා තිබීමයි. බොහෝ මාසවලදී අමාවක චන්ද්‍රයා අහසේ සූර්යයාට ඉහළින් හෝ පහළින් ගමන් කරන බැවින් ග්‍රහණයක් නිර්මාණය නොවේ. විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි, සූර්යග්‍රහණයක් සිදුවන්නේ මෙම තල දෙක කැපෙන ස්ථානයකදී (Node) චන්ද්‍රයා, සූර්යයා සහ පෘථිවිය තනි රේඛාවකට පිහිටි විට පමණි.

මෙම විශ්මයජනක දර්ශන තවමත් අවසන් වී නොමැති බව තාරකා විද්‍යා ආයතන නිවේදනය කරයි. අගෝස්තු 12-13 රාත්‍රිය පුරා පර්සියඩ්ස් උල්කාපාත වර්ෂාව (Perseid Meteor Shower) හේතුවෙන් රාත්‍රී අහසේ උල්කාපාත ගසාගෙන යන අලංකාර දර්ශනයක් නරඹන්නන්ට දැකගත හැකිය. ඊට අමතරව අගෝස්තු 28 වන දින අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදුවීමට නියමිත අතර, එහිදී චන්ද්‍රයා පෘථිවි සෙවනැල්ලට ඇතුළු වී රතු පැහැති “ලෝහිත චන්ද්‍රයෙකු” (Blood moon) බවට පත්වනු ඇත. (සාමාන්‍යයෙන් සූර්යග්‍රහණයකට සති දෙකකට පෙර හෝ පසුව චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත)

තවද, 2027 අගෝස්තු 2 වන දින ඊළඟ මහා සූර්යග්‍රහණය දකුණු ස්පාඤ්ඤය, උතුරු අප්‍රිකාව සහ මැදපෙරදිග හරහා ගමන් කිරීමට නියමිත බව ජාත්‍යන්තර තාරකා විද්‍යා වාර්තා සඳහන් කරයි. ඊජිප්තුවේ ලුක්සෝර් (Luxor) හිදී මෙම පූර්ණ සූර්යග්‍රහණය මිනිත්තු 6 යි තත්පර 23 ක් පුරා පවතිනු ඇති බව සඳහන් වේ. වාර්තාවලට අනුව, මෙය 1991 න් පසු දක්නට ලැබෙන දීර්ඝතම සූර්යග්‍රහණය වන අතර, තාරකා විද්‍යාඥයන් මෙය “සියවසේ සූර්යග්‍රහණය” ලෙස හඳුන්වයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading