ලෝකයේ බලවත්ම තාක්ෂණ සමාගම් දෙකතුනෙන් එකක් වෙච්ච එන්වීඩියා එකේ ප්‍රධානියා වූ ජෙන්සන් හුවාං (Jensen Huang) තමන්ගේම සමාගමේ සේවය කරන කාන්තාවන් සමඟ ලිංගික හා ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගිහින්. ඒ අතරේ චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක් සමඟත් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිහින්.
දැන් මේ චීනෙ ව්‍යාපාරික කාන්තාව චීන ඔත්තුකාරියක්ලු. මේ ඔක්කොම සිද්ධි එක්ක ලෝකයේ ආර්ථිකය පවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
මේ සම්බන්ධතාවලට සමහරු අනියම් කියන වචනය පාවිච්චි කරනවා. ඒත් ඉතින් අනියම් වුණත්, නියම් වුණත් සම්බන්ධතාවක් කියන්නේ සම්බන්ධතාවක්. මේ කතාබහ ඒ සම්බන්ධතා ගැන විවේචනය කරලා ජෙජන්සන් හුවාං වැරදිකාරයෙක් කියලා කියන්න නෙවෙයි. ඒත්, මේ මනුස්සයාගේ පුද්ගලික සම්බන්ධතා කිහිපයක් නිසා ඇති වුන අලකලංචිය ලෝකයම කැළඹුවේ කොහොමද කියන එක කතා කරන්න අපට පුලුවන්.
අපි පොඩි කාලෙ ඉදන් අහන කතාවක් තමයි ගෑණු නිසා ලෝක යුද්ධ පවා ඇතිවෙන්න පුලුවන් කියලා. ක්ලියෝපැට්රාගේ නහයෙ හැඩය වෙනස් වෙලා මුක්කන් වෙලා තිබුණ නම් අද ලෝක සිතියමේ හැඩය වෙනස් කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ.
ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ ගැහැණු නිසා ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා. ඇත්තටම ඔය කතාන්දර කියන්නේ පිරිමි. ගොඩක් වෙලාවට ගෑණුන්ට තියෙන ආසාව නිසා මොනවහරි වැඩක් අල කරගත්තාට පස්සේ පිරිමියා කරන්නේ ඒ ගෑණු කෙනාට වරද පටවන එක.
ඇත්තටම මේ වගේ සිද්ධිවලදී ලෝකෙ අනාගතය වෙනස් වෙනවා නම්- ඒ වෙනස ගැහැණු නිසා නෙවෙයි වෙන්නේ. බලවත් මිනිස්සුන්ගෙ ගෑණු පෙරේතකම නිසා.
දැන් මේ ආන්දෝලනය නිසා එන්වීඩියා සමාගමේ කොටස් මිලත් පහළ වැටුණා. සමාගම පාලනය කරන අධ්යක්ෂ මණ්ඩලයට ඔහු ගැන පරීක්ෂණයක් කරන්න සිදුවුණා. අන්තිමේදී ඔහුට තමන් වසර 33ක් තිස්සේ නායකත්වය දුන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත්වෙන්නත් සිදුවුණා.
අපි මේ කතාව වෙනම විදියකට කියවාගන්නයි යන්නේ. ගොඩක් අය මේක ටෙක් කතාවක් විදියට ගන්නවා. ලෝක දේශපාලනය පිළිබද කතාවක් විදියට ගන්නවා. හැබැයි ඒ වගේම මේක සමාජ සම්බන්ධතා පිළිබද කතාන්දරයක් විදියටත් සලකන්න පුලුවන්.
2026 නොවැම්බර් 12 වැනිදා හුවාං එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන්, සභාපති ධුරයෙන් සහ අධ්යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වුණා. ඒ බව සමාගම නිල වශයෙන් නිවේදනය කළා. සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය වූ කොලෙට් ක්‍රෙස් (Colette Kress) තාවකාලික ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත්කළා.
ඔන්න ඔය විදියට ලෝකයේ බලවත්ම ටෙක් සමාගමක නායකත්වයට ගැහැණියක් පත් වුණා. ඒ පිරිමියෙකුගේ වැරදි ගොඩක් හෙළිවුනාට පස්සේ.
හැබැයි මේක ධනවත් ව්‍යාපාරිකයෙකුගේ අනියම් ප්‍රේම සම්බන්ධතා ගැන කතාවක් විතරක් නෙවෙයි. ජෙන්සන්ව කාලයක් තිස්සේ ගොඩක් අය ආන්දෝලනාත්මක නැති චරිතයක් විදියට හැදින්වුවා. බලය අතින් එක හා සමාන වුණත් ජෙෆ් බේසෝස්, ඊලෝන් මස්ක්, මාක් සකර්බර්ග් වගේ අයට තියෙන නරක ප්රතිරූපයන් ජෙන්සන්ට තිබුන්නෑ.
ඒ වගේම මිනිස්සුන්ගෙ පෞද්ගලික ජීවිතේ ගැහැණු කෙනෙක් වුණත්, පිරිමි කෙනෙක් වුණත් ලිංගික ක්‍රියාවල් කරන්නේ කා එක්කද කියන එක අපට අදාල නෑනේ. ඒ වැඩිහිටි සම්බන්ධතා නීතියට විරුද්ධත් නෑනේ. එහෙනම් ජෙන්සන්ගේ මාතෘකාව මෙච්චර ලොකු ආන්දෝලනයක් වෙලා මිනිහාට ගෙදර යන්න සිද්ධවුණේ ඇයි කියන එකත් තේරුම් ගන්න ඕනෑ.
විශේෂයෙන්ම ජෙන්සන් සම්බන්ධතා පැවැත්වුවේ තමන්ගේම යටතේ ඉන්න තමන්ගේ විධානය යටතේ සේවය කරන කාන්තාවන් එක්ක. එහෙම වෙලාවක අනියම් සම්බන්ධයක් වුණත් විනය ප්‍රශ්නයක් විදියට සලකනවා. ලංකාවේ ඒවා විනය ප්‍රශ්න නොවුණාට ලෝකයේ ඒක සලක්නනේ එහෙමයි.
අපි ඒ ගැන කතා කරන්න කලින් මේ සමාගමේ ලොක්කාගේ පෞද්ගලික ජීවිතය ලෝකෙට මෙච්චර වැදගත් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනෑ. ජෙන් සී එකේ තාක්ෂණේ එක්ක මුහුවෙච්ච ගොඩක් අයට එන්වීඩියා කියන්නේ සුපුරුදු නමක්. ඒත් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් වෙනුවෙන් අපි සරලව තේරුම් ගනිමු.
අද කෘත්‍රිම බුද්ධිය ගැන කතා කරන ඕනෑම කෙනෙකුට එන්වීඩියා සමාගම මඟහැරලා යන්න බැහැ.
චැට්ජීපීටී වගේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අතිවිශාල පරිගණක බලයක් හෙවත් කම්පියුටින් පවර් එකක් අවශ්‍යයි. මේ පරිගණක බලය උත්පාදනය කරන ප්‍රධාන උපාංගයක් තමයි GPU කියලා හඳුන්වන විශේෂ චිපය.
මුලින් එන්වීඩියා ප්‍රසිද්ධ වුණේ පරිගණක ක්‍රීඩාවලට අවශ්‍ය ග්‍රැෆික් චිප් නිෂ්පාදනය කිරීමෙන්. නමුත් දැන් එය ලෝකයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට අවශ්‍ය පරිගණක පද්ධති සපයන ප්‍රධාන සමාගමක්.
Google, Microsoft, Amazon වැනි සමාගම් සහ විවිධ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ ආයතන මේ තාක්ෂණය මත විශාල වශයෙන් රඳා පවතිනවා.
ලෝක බැංකුවේ 2025 ඩිජිටල් ප්‍රගති වාර්තාව අනුව, කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කරන චිප වෙළෙඳපොළේ එන්වීඩියා සමාගම සතු කොටස, වෙළෙඳපොළ ගණනය කරන ආකාරය අනුව, සියයට 70ත් 95ත් අතර පරාසයක තිබුණා. ඒක අතිවිශාල වෙළෙඳපොළ බලයක්.
2026 මුදල් වර්ෂයේ ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන $215.9 ක් වුණා. මේක මුළු ලංකාවේම අපනයන ආදායම වගේ සිය ගුණයක් වගේ.
2026 මුදල් වර්ෂයේ ශුද්ධ ලාභය විතරක් ඇමෙරිකන් ඩොලර් බිලියන $120.1ක්.
මේ සංඛ්‍යාලේඛනවලින් කියන්නේ මෙය කොතරම් ලාභ ලබන සමාගමක්ද කියන එකයි. හැබැයි එන්වීඩියා සමාගමේ බලය මනින්න පුළුවන් ලාභයෙන් විතරක් නෙවෙයි.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කරන්න කැමැති රටවල්, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ ව්‍යාපාරවලට අවශ්‍ය මූලික තාක්ෂණික පහසුකම් සැපයීමේ බලයත් මේ සමාගම සතුයි. ඒ කියන්නේ මුදලින් මනින්න බැරි දැනුමකුත්, තාක්ෂණික දියුණුවකුත් මේ සමාගමට තියෙනවා.
ඒ කියන්නේ අනාගතයේ තාක්ෂණික සංවර්ධනයට සම්බන්ධ වෙන්න පුළුවන් කාටද, ඒ සඳහා කොච්චර මුදලක් ගෙවන්න වෙනවාද, කාට ඉක්මනින් තාක්ෂණය ලබාගන්න පුළුවන්ද කියන කරුණුවලටත් එන්වීඩියා සමාගමේ තින්දු තීරණ තීරණ විශාල බලපෑමක් කරනවා.
ඒ වගේම එන්වීඩියා සමාගමේ චිප පමණක් නොවෙයි, ඒවා සමඟ ක්‍රියාත්මක වන CUDA (කියුඩා) වැනි මෘදුකාංග තාක්ෂණයත් වැදගත්. විවිධ වැඩසටහන් නිර්මාණය කරන කෙනෙක් මේ පද්ධතියට හුරු වූ පසු වෙනත් නිෂ්පාදකයෙකු වෙත මාරුවීම පහසු නැහැ.
.
එන්වීඩියා සමාගම තවත් කෘත්‍රිම බුද්ධි සමාගම්වල ආයෝජනය කරන අතර, ඒවා එන්වීඩියා චිප මිලදී ගන්නා පාරිභෝගිකයන් බවටත් පත්වෙනවා. මේ ආයෝජන සහ ව්‍යාපාරික සම්බන්ධතා නිසා එන්වීඩියා සමාගම වටා සම්පූර්ණ තාක්ෂණික ආර්ථික පද්ධතියක් නිර්මාණය වෙලා තිබෙනවා.
ඒ නිසා ජෙන්සන් හුවාං කියන්නේ ලෝකෙ බලවත්ම මිනිහෙක්. එයාගෙ සමාගමෙන් ඇමෙරිකාවට එන ආදායම නිසා එයාව ඇමෙරිකාවටත් වැදගත්.
1993දී ආරම්භ කළ සමාගමක් ලෝකයේ වැදගත්ම තාක්ෂණික ව්‍යාපාරයක් බවට පත්කිරීමට ඔහු නායකත්වය දුන්නා. ඔහු ඇමෙරිකානු දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කළා. චීනයට තාක්ෂණික උපාංග විකිණීම පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරගැනීමට බලපෑම් කළා.
ඉතින් අන්න ඒ බලපෑම් කරන එක ගැනත් ඇමෙරිකාවේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් අය අහන්නේ ඡන්දයෙන් පත් නොවුණ ව්‍යාපාරිකයෙක් වන හුවාං දේශපාලන තීන්දු තීරණවලට මෙච්චර සම්බන්ධ වෙන්නෙ කොහොමද කියලා.
ඇලිස් හුවාංගේ සම්බන්ධතාව
ජේසන් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා හෙළිවුණ කාන්තාවන් තුන්දෙනා අතරින් පළමු කාන්තාව ඇලිස් හුවාං (Alice Huang). ඇය චීන ජාතික ව්‍යාපාරික කාන්තාවක්. හැබැයි ඇමෙරිකාවේ ඔත්තු සේවාවන්ට අනුව ඇය චීන ඔත්තු කාරියක්. ඇමෙරිකාවේ ඉහළම නායකයන්ට ඇය ඔත්තුකාරියක් බව තොරතුරු ලැබිලා අවුරුද්දකට වඩා ගිහින්. ට්‍රම්ප් පවා මේ ගැන දැනගෙන හිටියාට කිසිම පියවරක් ගත්තේ නැහැ කියලා චෝදනා එල්ල වෙනව.
මීට පෙර ඇය චීනයේ මූල්‍ය හා ආයෝජන ක්ෂේත්රවල සේවය කර තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්රයේත් වැඩ කර තිබෙනවා. පසුව සිංගප්පූරුව පදනම් කරගත් මෙගා ස්පීඩ් ඉන්ටර්නැෂනල් කියන තාක්ෂණික සමාගමේ ඉහළ තනතුරකට පත්වුණා.
Megaspeed කියන්නේ එන්වීඩියා සමාගමේ ප්‍රධාන පාරිභෝගික සමාගමක්. එය විශාල පරිමාණයේ දත්ත මධ්‍යස්ථාන සහ පරිගණක සේවා සපයනවා. වාර්තා අනුව වසර දෙකකදී ඩොලර් බිලියන 4.8කට වැඩි වටිනාකමක් ඇති එන්වීඩියා චිප මිලදීගෙන තිබුණා.
ඇලිස් හුවාං සහ ජෙන්සන් හුවාං අතර 2023 දෙසැම්බර් තරම් ඈත කාලයේ සිට පොදු උත්සවවලදී හමුවීම් සිදුව ඇති බව රොයිටර්ස් පුවත් සේවය ඡායාරූප පරීක්ෂා කරමින් තහවුරු කර තිබෙනවා. නමුත් ඔවුන්ගේ සම්බන්ධතාව ප්‍රේම සම්බන්ධතාවක් බවට පත්වූ නිශ්චිත දිනය තවමත් පැහැදිලි නැහැ.
ජෙන්සන් හුවාං විවාහකයෙක්. ඔහුගේ බිරිඳ ලෝරි හුවාං. ඔවුන් 1985 සිට විවාහ වී සිටිනවා.
2026 නොවැම්බර් 8 වැනිදා ජෙන්සන් හුවාං එන්වීඩියා සේවකයන්ට ප්‍රසිද්ධ ලිපියක් යවමින් තමන් විවාහයෙන් පිටත සම්බන්ධතාවක් පැවැත්වූ බව පිළිගත්තා.
“මම මගේ බිරිඳට විශ්වාසවන්ත වුණේ නැහැ. මගේ ක්‍රියාවලින් ඇයටත් අපේ දරුවන්ටත් වේදනාවක් ඇතිවුණා. ඒකට කිසිම නිදහසට කරුණක් නැහැ.”
ඔහු පවුලෙන් සහ සමාගමේ සේවකයන්ගෙන් සමාව ඉල්ලා සිටියා. ජාතික ආරක්ෂාව පිළිබඳ පරීක්ෂණයට සහයෝගය ලබාදෙන බවත් ප්‍රකාශ කළා.
නොවැම්බර් 14 වැනිදා රොයිටර්ස් පුවත් සේවය විශේෂ දෙයක් හෙළි කළා .
ඔක්තෝබර් මාසයේදී සමාගමේ ප්‍රධාන නීති නිලධාරී ටිම් ටීටර්ට සහ ප්‍රධාන අලෙවි නිලධාරිනී ඇලිසන් වැගන්ෆෙල්ඩ්ට ඇලිස් හුවාං සමඟ තමන්ගේ සම්බන්ධතාව ගැන ඔහු කරුණු දක්වා තිබුණා. එහිදී මේවා සාමාන්‍ය ව්‍යාපාරික සම්බන්ධතා බවට හුවාං තර්ක කර තිබුණා.
රොයිටර්ස් පරීක්ෂා කළ අභ්‍යන්තර පණිවිඩ සහ තොරතුරු දන්නා පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ අනුව, ඔහු එම සම්බන්ධතාවේ සැබෑ ස්වභාවය ගැන සමාගමේ ඉහළ නිලධාරීන් නොමඟ යවා තිබෙනවා.
තමන්ට වාර්තා කරන නිලධාරිනියක සමඟ සම්බන්ධතාව
දෙවැනි කාන්තාව කිම්බර්ලි පවෙල් (Kimberly Powell).
ඇය එන්වීඩියා සමාගමේ සෞඛ්‍ය තාක්ෂණ අංශයේ උප සභාපතිවරියක්. 2008 සිට සමාගම සමඟ වැඩ කළ ඉහළ පෙළේ නිලධාරිනියක්.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නොවැම්බර් 11 වැනිදා වාර්තා කළේ ජෙන්සන් හුවාං ඇය සමඟත් අනියම් සම්බන්ධතාවක් පවත්වා තිබූ බවයි.
මෙහි විශේෂත්වය වන්නේ ඇය ඔහුට සෘජුව වාර්තා කරන නිලධාරිනියක වීමයි. ඒ කියන්නේ ඒ ගෑණු කෙනා වැඩ කරන්නේ ඔහු යටතේ.
මාර්තු මාසයේ පැවැති සමාගමේ සම්මන්ත්‍රණයක් අතරතුර හෝටලයකදී ඔවුන් දෙදෙනා සමීපව හැසිරෙන ආකාරය වීඩියෝවකට හසුවී තිබුණා.
තුන්වැනි සම්බන්ධතාව ගැන අනාවරණය
නොවැම්බර් 12 වැනිදා රොයිටර්ස් පුවත් සේවය තවත් කරුණක් හෙළි කළා.
හුවාං එන්වීඩියා සමාගමේ තවත් කාන්තා සේවිකාවක් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති බව තොරතුරු දන්නා පුද්ගලයන් දෙදෙනෙකු පවසා තිබුණා.
එම සේවිකාවගේ නම මාධ්‍යයට හෙළි කර තිබුණේ නැහැ. ඇයගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට රොයිටර්ස් තීරණය කර තිබුණා. ඇයගේ තනතුර, සම්බන්ධතාවයේ ස්වභාවය සහ එය සිදුවූ කාලය පිළිබඳ සියලු තොරතුරු තහවුරු කර නැහැ.
ඇලිස් හුවාං චීන ඔත්තුකාරියක්ද?
දැන් මේ කතාවේ දේශපාලනිකව වැදගත්ම කොටසට ආපහු එමු.
මම කලින් කීවා වගේ ඇමෙරිකානු බුද්ධි අංශවලට අනුව ඇලිස් හුවාං චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සම්බන්ධකම් පවත්වා, ජෙන්සන් හුවාං වෙතින් තොරතුරු ලබාගැනීමට උත්සාහ කළ කාන්තාවක් විය හැකියි.
නිව්යෝර්ක් ටයිම්ස් සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත් මේ චෝදනා පළ කළා. මාකෝ රුබියෝගේ අධීක්ෂණය යටතේ ඇමෙරිකානු පරිපාලනයේ රහසිගත වාර්තාවක් සකස් කළ බවත් වාර්තා වුණා.
හැබැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ ජියාකුන් නොවැම්බර් 9 වැනිදා මේ චෝදනාව ප්‍රතික්ෂේප කළා.
ඔහුගේ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය මෙහෙමයි.
“චීන ඔත්තු බැලීමක් පිළිබඳ ඔය කියන චෝදනාව පදනම් විරහිතයි. එය චීනයට එරෙහි මඩගැසීමක් විතරයි.”
මේ චෝදනාව ඇත්ත වුණත්, බොරු වුණත් සැකය කියන්නේ හරි භයානක දෙයක්. එන්වීඩියා එකේ තාක්ෂණය චීනයට ගියා නම්, චීනය එන්වීඩියා තාක්ෂණය කොපි කරලා චිප් නිර්මාණය කරන්න ගත්තානම් ඇමෙරිකාවට තියෙන ආර්ථික බලයේ ලොකු වෙනසක් වෙනවා. චීනය තාක්ෂණික වශයෙන් ලොකු පිම්මක් පනිනවා.
විශේෂයෙන්ම මේ තාක්ෂණයන් මාකට් එකට විතරක් නෙවෙයි මිලිටරි එකටත් වැදගත්. මේ නිසා තමයි ඇමෙරිකාවේ තාක්ෂණය චීනයට අපනයනය කරනවාටත් සීමා දාලා තිබුණේ. ඉතින් මේ පොඩි අනියම් සම්බන්ධතාව නිසා සමහරවිට ලෝකයේ ආර්ථික බලය පවා වෙනස් වෙන්න පුලුවන්. මිලිටරි බලයත් වෙනස් වෙන්න පුලුවන්.
චීනය සහ ඇමෙරිකාව අතර සැබෑ අරගලය මොකක්ද?
ඇමෙරිකාව දශක ගණනාවක් ලෝකයේ තාක්ෂණික බලවතා ලෙස කටයුතු කළා. Microsoft, Google, Apple, Nvidia වැනි සමාගම් බිහිවුණේ ඒ ආර්ථික පද්ධතිය තුළයි.
නමුත් චීනය දැන් තමන්ගේම චිප, පරිගණක පද්ධති, කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සහ අනෙකුත් උසස් තාක්ෂණික නිෂ්පාදන දියුණු කරමින් ඉන්නවා.
මෙහිදී ඇමෙරිකාවට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි චීනය තමන්ගේ තාක්ෂණික ආධිපත්‍යයට අභියෝග කිරීම. ඉස්සර චීනයේ නිෂ්පාදනයක් කිව්වාම ඒවා බාලයි, චීප්. චයිනීස් කිව්වම අපට මතක් වුණේ බාල බඩු කියන එක. ඒත්, පසුගිය අවුරුදු දහයක විතර කාලය ඇතුළේ චීනය වේගයෙන් දියුණු භාණ්ඩ නිෂ්පාදනය කළා. බීවයිඩී වාහන කියන්නේ ඒකට හොදම උදාහරණයක්. එයාලා බාල බඩු වෙනුවට සුපිරි බඩු හදන්න ගත්තා.
මෙන්න මේ වෙනස එක්ක 2022 සිට ඇමෙරිකාව චීනයට අතිනවීන චිප අපනයනය සීමා කරන්න පටන්ගත්තා. ඇමෙරිකාව කියන්නේ එවැනි චිප චීන හමුදාවට, ඔත්තු සේවාවලට සහ නිරීක්ෂණ පද්ධතිවලට යොදාගන්න පුළුවන් බවයි.
ඉතින් කාන්තාවන් පිළිබද ප්‍රශ්නයක් වගේ පෙනුණත් ඇත්තටම මෙහිදී සිදුවෙන්නේ තාක්ෂණය පාලනය කිරීමේ බලය තමන් සතුව තබාගැනීමට ලෝක බලවතුන් කරන අරගලයක්.
චීනයට චිප විකිණීමට හුවාං දැක්වූ උනන්දුව
ජෙන්සන් හුවාං දිගින් දිගටම චීනයට එන්වීඩියා චිප විකිණීම සඳහා පෙනී සිටියා.
ඔහුගේ තර්කය වුණේ චීන සමාගම් ඇමෙරිකානු තාක්ෂණය මිලදී ගත්තොත් ඒවා තවදුරටත් ඇමෙරිකානු තාක්ෂණය මත රඳා පවතින බවයි.
චීනයට චිප විකිණීම තහනම් කළොත් එන්වීඩියා සමාගමට ලාභදායී වෙළෙඳපොළක් අහිමි වෙනවා. ඒ වගේම චීනයට තමන්ගේම චිප තාක්ෂණය දියුණු කිරීමට තවත් හේතුවක් ලැබෙනවා.
නමුත් චීනයට චිප විකිණීමේ අවසරය ලැබුණොත් එන්වීඩියා සමාගමට අතිවිශාල මුදලක් උපයාගන්න පුළුවන්.
2025 දෙසැම්බර් මාසයේදී ට්‍රම්ප් පාලනය එන්වීඩියා සමාගමේ H200 චිප චීනයට විකිණීමට අවසර දෙන බව ප්‍රකාශ කළා. ඒ චිප අලෙවියෙන් සියයට 25ක මුදලක් ඇමෙරිකානු රජයට ලැබිය යුතු බවත් සඳහන් කළා.
2026 ජනවාරි මාසයේදී මේ සඳහා එක් එක් ඉල්ලීම වෙන වෙනම පරීක්ෂා කර බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් හඳුන්වා දුන්නා. සියලු අපනයන සීමා ඉවත් කළේ නැහැ.
ට්‍රම්ප් සහ ජෙන්සන් හුවාං අතර තිබුණේ සාමාන්‍ය ජනාධිපතිවරයෙකු සහ ව්‍යාපාරිකයෙකු අතර සම්බන්ධතාවක් නොවෙයි.
2025දී ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසුව හුවාං නිතර ධවල මන්දිරයට ගියා. ට්‍රම්ප්ගේ ජාත්‍යන්තර සංචාරවලට සහභාගි වුණා. චීනයට චිප විකිණීම පිළිබඳව පරිපාලනය සමඟ සාකච්ඡා කළා.
2026 මාර්තු මාසයේදී ඔහු ජනාධිපතිවරයාගේ විද්‍යා හා තාක්ෂණ උපදේශක මණ්ඩලයටත් ඇතුළත් වුණා.
2026 ඔක්තෝබර් මාසයේදී ට්‍රම්ප් ඔහුට ඇමෙරිකාවේ ඉහළම විද්‍යාත්මක ගෞරවයක් වන National Medal of Science පවා පිරිනැමුවා.
ඒ අතරේ එන්වීඩියා සමාගම ධවල මන්දිරයේ නව උත්සව ශාලාවක් සඳහා ඩොලර් මිලියන 25ක දායකත්වයක් ලබාදීමට එකඟ වී ඇති බවත් වාර්තා වුණා. ට්‍රම්ප් විසින් එන්වීඩියා කොටස් මිලදී ගැනීම් සහ විකිණීම් පිළිබඳ තොරතුරුත් හෙළි කර තිබුණා.
ට්‍රම්ප් මේ චෝදනාවලට දැක්වූ ප්‍රතිචාරය විශේෂයෙන් වැදගත්.
නොවැම්බර් 9 වැනිදා ඔහු ප්‍රකාශ කළේ ජෙන්සන් හුවාං සමඟ කතා කළ බවයි.
ඔහුගේ ප්‍රකාශය සිංහලයට පරිවර්තනය කළොත්,
“ඇය ඔත්තුකාරියක් බව ඔබට අදහසක් තිබුණාද කියලා මම ඔහුගෙන් ඇහුවා. ඔහු නැහැ කිව්වා. මම ඔහුව විශ්වාස කරනවා.”
ට්‍රම්ප් හුවාංගේ හැසිරීම ගැන ප්‍රසිද්ධියේ දැඩි විවේචනයක් කළේ නැහැ.
ඊට විරුද්ධව ඔහු හුවාං හොඳ පුද්ගලයෙකු බවත්, ඔහුට තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලැබිය යුතු බවත් සඳහන් කළා.
නොවැම්බර් 12 වැනිදා හුවාං ඉල්ලා අස්වීමෙන් පසුවත් ට්‍රම්ප් ඔහු ගැන අනුකම්පාවෙන් කතා කළා.
ඔහුගේ ප්‍රකාශයෙන් තවත් කොටසක් මෙහෙමයි.
“මම ඊයේ ඔහුත් එක්ක කතා කළා. ඔහු දැන් ඉන්නේ බරපතළ පීඩනයක.”
ට්‍රම්ප් හුවාංට සිය තනතුර රැකගැනීමට උත්සාහ කරන ලෙස දුරකථනයෙන් දිරිගන්වා තිබූ බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළා.
පසුව එන්වීඩියා සමාගමට සුදුසු නව ප්‍රධානියෙකු ලෙස Apple සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්ගේ නමත් ට්‍රම්ප් යෝජනා කළා. හැබැයි ට්‍රම්ප් කියන කෙනාව පත් කරන්න එන්වීඩියා සමාගම බැදිලා නෑ.
ට්‍රම්ප් ඇත්තටම දැනගෙන හිටියේ නැද්ද?
CNN සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවා වාර්තා කළේ ට්‍රම්ප් 2026 මැයි මාසයේ චීන සංචාරයකට යමින් සිටියදී මාකෝ රුබියෝ ඔහුට මේ ඔත්තුකාරියගේ කතාව සහ සම්බන්ධතාව ගැන දැනුම් දුන් බවයි.
ඒ වනවිටත් හුවාං චීන සංචාරයට එක්කරගැනීමට ට්‍රම්ප් තීරණය කර තිබුණා.
වාර්තා අනුව, මැයි මාසයේ රුබියෝ කළ දැනුම්දීම ට්‍රම්ප්ට මේ පිළිබඳ ලැබුණු පළමු අනතුරු ඇඟවීමත් නොවෙයි.
ජාතික ආරක්ෂාව නමින් අනෙක් රටවලට සීමා පනවන ආණ්ඩුවක්, තමන්ට සමීප ධනවත් ව්‍යාපාරිකයෙකු පිළිබඳව සැක මතුවූ විට එය සලකන්නේ වෙනස් ආකාරයකටද? විශේෂයෙන් පහුගිය කාලයේ මැතිවරණයේදී මුස්ලිම් අපේක්ෂකයන්ට විරුද්ධව බියක් ඇවිස්සූ ට්‍රම්ප් මේ තරම් බරපතල තොරතුරක් ගණන් ග්නනේ නැතිව හිටියාද කියලා ගොඩක් අය අහනවා.
ඉතින් එන්වීඩියා ප්රශ්නය ට්‍රම්ප්ගේ දෙබිඩිකම ගැන ප්‍රශ්නයකුත් වුණා.
හැබැයි ජේසන් සහ එයා යටතේ හිටපු සේවිකාවන් අතර සම්බන්ධතාව ගැන ගොඩක් අය ප්‍රශ්න කරනවා. ලොක්කෙක් තමන් ළග වැඩකරන කෙනෙක්ට රොමෑන්ටික් විදියට කැමැත්ත පළ කළාම, සේවිකාවකට ගැලවෙන්න පුලුවන්ද?
සේවකයාට ප්‍රධානියාගේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? සම්බන්ධතාව අවසන් කරන්න අවශ්‍ය වුණොත් රැකියාවට බලපෑමක් නැතිව එය කරන්න පුළුවන්ද? සම්බන්ධතාව පිළිබඳ පැමිණිල්ලක් කරන්න අවශ්‍ය වුණොත් ස්වාධීන ක්‍රමයක් තිබෙනවාද? විශේෂයෙන් ලොක්කා කියන දේ කළේ නැත්නම් එයාගේ ජොබ් එකම නැති වේවිද? ඒ නිසා ජොබ් එක නැතිවේවි කියන බයෙන් සම්බන්ධතා පවත්වනවද? නැත්නම් මේ සම්බන්ධය නිසා එයාට වාසියක් වෙයි කියලා හිතාගෙන සම්බන්ධයට කෙල්ලෙක් කැමත්තෙන්ම යනවා වෙන්නත් පුලුවන්.
ඒ කොහොම වුණත් ඒ පිරිමියා අනෙක් ගැහැණියව කැමති කරගන්නේ තමන්ගේ තනතුරේ බලය මුලට තියාගෙන.
කොහොමහරි එක දෙයක් පැහැදිලියි. ආයතනයක සංස්කෘතිය සම්පූර්ණයෙන්ම එක් බලවත් පුද්ගලයෙකු වටා ගොඩනැගීම අනතුරුදායකයි.
ජෙන්සන් හුවාං තමන්ගේම සමාගමක් වසර 33ක් පාලනය කළා.
එම සමාගම අද ලෝකයේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පාලනය කරන ප්‍රධාන ආයතනයක් බවට පත්වී තිබෙනවා. එහෙම ආයතනයක පාලන ව්‍යුහය එක් පුද්ගලයෙකුගේ හැකියාව, තීරණ සහ පෞද්ගලික සම්බන්ධතා මත අධිකව රඳා පැවතීම සමාජයටම අවදානමක්. ලෝකයටම අවදානමක්.
එම අවදානම කොතරම් විශාලද කියන එක හුවාංගේ ඉවත්වීමෙන් පසු කොටස් වෙළෙඳපොළේ ඇතිවූ වෙනස්කම්වලින් පෙනෙනවා.
නොවැම්බර් 14 වැනිදා රොයිටර්ස් වාර්තාව අනුව ඔක්තෝබර් 6 වැනිදා පැවති ඉහළම මට්ටමට සාපේක්ෂව එන්වීඩියා කොටස් මිල සියයට 30කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබුණා. ඒ සමඟ සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.8කට වැඩි ප්‍රමාණයකින් අඩුවී තිබුණා.
එක පිරිමියෙකුගේ පුද්ගලික හැසිරීමක් ලෝකයටම බලපාන්න පුලුවන්. ලෝක තාක්ෂණයේ අනාගතයට බලපාන්න පුලුවන්. මනුෂ්‍ය ශිෂ්ඨාචාරයටම බලපෑම් කරන්න පුලුවන්.
අන්න ඒ විදියට ලෝකයේ බලය කිහිපදෙනෙකු වටේට ගොනුවීම තමයි එන්වීඩියා ආන්දෝලනය එක්ක ගොඩක් අය අතර ප්‍රධානම සාකච්ඡා මාතෘකාව වුණේ.
