හිතන්න. ඔබ මීට අවුරුදු 49කට කලින් ගමනක් පිටත් වුණා කියලා.
1977 සැප්තැම්බර් මාසයේ පටන්ගත්ත ඒ ගමන ඔබ තවමත් නතර කරලා නැහැ. දවසක්වත් නතර නොවී, විවේකයක් නැතිව, පැයකට කිලෝමීටර් 61,000කට ආසන්න වේගයකින් ඔබ ගමන් කරනවා.
ඔබ පෘථිවියෙන් ඈතට, තව තවත් ඈතට යනවා. ග්‍රහලෝක පහුකරලා යනවා. සූර්යයාගෙන් එන අංශුවල බලපෑම පවතින ප්‍රධාන කලාපයත් පහුකරලා, තාරකා අතර තියෙන අවකාශයට ඇතුළු වෙනවා.
ඔබ මේ විදියට අවුරුදු 49ක් ගමන් කළාට පස්සේ, ඔබට පෘථිවියෙන් කොච්චර ඈතට යන්න පුළුවන් වේවිද?
අපි දැන් කතා කරන්න යන්නේ ඇත්තටම ඒ ගමන යන කෙනෙක් ගැන. හැබැයි ඒ මනුස්සයෙක් නෙවෙයි.
ඒ තමයි ඇමෙරිකාවේ නාසා ආයතනය 1977 සැප්තැම්බර් 5 වැනිදා අභ්‍යවකාශයට යැවූ වොයේජර් 1 (Voyager 1) යානය.
2026 නොවැම්බර් 18 වැනිදා, මේ යානය මනුෂ්‍ය ඉතිහාසයේ අලුත් වාර්තාවක් පිහිටුවනවා.
ඒ තමයි පෘථිවියේ සිට ආලෝක දිනයක දුරකට ගිය පළමු මිනිසා නිපදවූ වස්තුව බවට පත්වීම. ඒ කියන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25.9ක් පමණ ඈතට යෑම.
නාසා ආයතනය ගණනය කරලා තියෙන්නේ නොවැම්බර් 18 වැනිදා ලංකාවේ වේලාවෙන් පස්වරු 3.46ට පමණ ඒ සන්ධිස්ථානය පසු කරන බවයි.
හැබැයි මේ කතාවේ පුදුම සහගතම දේ ඒ දුර නෙවෙයි.
අවුරුදු 49ක් තිස්සේ වොයේජර් යානය ගමන් කරලා තියෙන ඒ දුර, ආලෝකයට ගමන් කරන්න ගතවෙන්නේ එක දවසයි!
ඒ කියන්නේ පැය 24යි.
මනුෂ්‍ය වර්ගයා අඩසියවසකට ආසන්න කාලයක් තිස්සේ ලබාගත් දුර, ආලෝකය එක දවසකින් පසුකරනවා.
මේක තමයි අපේ තාක්ෂණයේ විශිෂ්ටත්වයත්, විශ්වයේ විශාලත්වය ඉදිරියේ අපේ පුංචිකමත් එකවරම පෙන්වන අපූරු කතාව.
ආලෝක දිනයක් කියන්නේ ඇත්තටම මොකක්ද?
ආලෝකය තත්පරයකට කිලෝමීටර් ලක්ෂ තුනකට ආසන්න වේගයකින් ගමන් කරනවා.
ඒ කියන්නේ අපි ඇස් පිල්ලමක් ගහන අතරතුරත් ආලෝකය කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරලා ඉවරයි.
සූර්යයාගේ ඉඳලා පෘථිවියට ආලෝකය එන්න ගතවෙන්නේ විනාඩි 8යි තත්පර 20ක් විතරයි.
හඳේ ඉඳලා පෘථිවියට එන්න තත්පර 1.3ක් විතරයි.
හැබැයි වොයේජර් ඉන්න තැන ඉඳලා පෘථිවියට ආලෝකය එන්න සම්පූර්ණ දවසක් ගතවෙනවා.
වොයේජර් යානයට පෘථිවියෙන් පණිවිඩ යවන්නේ රේඩියෝ තරංගවලින්. ඒවාත් රික්ත අවකාශයේ ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්.
ඒ නිසා අපි අද වොයේජර් යානයට පණිවිඩයක් යැව්වොත්, ඒ පණිවිඩය ලැබෙන්නේ හෙට.
යානය ඒ මොහොතේම පිළිතුරක් එව්වත්, අපට ඒක ලැබෙන්නේ අනිද්දා.
පණිවිඩයක් යවලා පිළිතුරක් ගන්න විතරක් පැය 48ක් යනවා.
මේක නාසා ආයතනයේ විද්‍යාඥයන්ට විශාල අභියෝගයක්. යානයේ යම් දෝෂයක් ඇති වුණොත් ඒක එවෙලේම දැකලා හදාගන්න බැහැ. යානයට තමන්ගේ ප්‍රශ්න බොහොමයක් තනියම කළමනාකරණය කරගන්න සිදුවෙනවා.
2026 ඔක්තෝබර් මාසයේදීත් වොයේජර් 1 සමඟ සන්නිවේදනය තාවකාලිකව ඇනහිටියා. පැය 48කට පසුව යළිත් සංඥා ලැබුණා. මේ තරම් ඈතින් තියෙන යානයක් පාලනය කිරීම කොච්චර අමාරුද කියලා ඒ සිදුවීමෙන්ම පේනවා.
එතකොට මනුෂ්‍යයා හදපු වේගවත්ම යානය මොකක්ද?
ඒ වාර්තාව හිමිවෙන්නේ නාසා ආයතනයේ Parker Solar Probe කියන යානයට.
මේ යානය 2024 දෙසැම්බර් 24 වැනිදා සූර්යයාට ඉතාම ආසන්නයෙන් ගමන් කරද්දී පැයකට කිලෝමීටර් 692,000කට ආසන්න වේගයක් ලබාගත්තා. 2026 සැප්තැම්බරයේදීත් ඒ වාර්තාගත වේගය යළිත් ලබාගත්තා.
ඒ කියන්නේ තත්පරයකට කිලෝමීටර් 192ක් විතර.
මිනිසුන් ඇත්තටම නැඟී ගමන් කළ වේගවත්ම යානය ගැන ඇහුවොත්, ඒ වාර්තාව 1969දී ඇපලෝ 10 අභ්‍යවකාශගාමීන් පිහිටුවපු එකක්. ඔවුන් පෘථිවියට ආපසු එද්දී පැයකට කිලෝමීටර් 39,900කට ආසන්න වේගයකින් ගමන් කළා.
අපි නිපදවූ වේගවත්ම යානයටත් ආලෝකයේ වේගයෙන් සියයට එකක්වත් ලබාගන්න බැහැ.
වොයේජර් ගමන් කරන වේගයට වඩා පාකර් යානයේ වාර්තාගත වේගය දස ගුණයකටත් වැඩියි.
පාකර් යානය ඒ වේගය ලබාගත්තේ සූර්යයා ළඟින් ගමන් කරන ඉතා කෙටි අවස්ථාවකදී. ඒ වේගය දිගටම පවත්වාගෙන, සූර්යයාගෙන් ඈතට යන හැකියාවක් එයට නැහැ.
එහෙම හැකියාවක් තිබුණා නම්, වොයේජර් පසුපස යැවූ යානයකට වසර පහකටත් අඩු කාලයකින් එයට ළඟා වෙන්න ඉඩ තිබුණා.
නමුත් ඒක ගණිතමය උපකල්පනයක් විතරයි. දැනට අපට පාකර් යානයේ වාර්තාගත වේගය පාවිච්චි කරලා ඒ විදියේ ගමනක් කරන්න බැහැ.
සූර්ය රුවලකින් වොයේජර් අල්ලාගන්න පුළුවන්ද?
ඒ තමයි Solar Sailing හෙවත් සූර්ය රුවල් තාක්ෂණය.
මුහුදේ රුවල් නැවක් සුළඟේ බලයෙන් ගමන් කරනවා වගේ, අභ්‍යවකාශයේ යානයක් හිරු එළියේ පීඩනයෙන් ගමන් කරවීමයි මේකේ අදහස.
ආලෝකයටත් ඉතා සියුම් තල්ලු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක අතිශයින් දුර්වල වුණත්, බොහොම සැහැල්ලු, විශාල රුවලකට ලැබෙන තල්ලුව කාලයක් තිස්සේ එකතු වෙද්දී යානයේ වේගය වැඩි කරගන්න පුළුවන්.
මේක විද්‍යා ප්‍රබන්ධයක් විතරක් නෙවෙයි. නාසා ආයතනයේ Advanced Composite Solar Sail System වැනි ව්‍යාපෘතිවලින් මේ තාක්ෂණය අත්හදා බලලා තියෙනවා.
ඊටත් එහා ගිය යෝජනා දැන් තියෙනවා.
2025දී නාසා පර්යේෂණ ලේඛනාගාරයට ඉදිරිපත් කළ Extreme Solar Sailing පිළිබඳ අධ්‍යයනයකින්, සූර්යයාට ඉතා ළංවී තල්ලුව ලබාගන්නා විශේෂ රුවල් යානයකට තත්පරයට කිලෝමීටර් 300කට වැඩි වේගයක් ලබාගැනීමේ සංකල්පයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ සඳහා තාක්ෂණික අභියෝග රාශියක් ජයගත යුතුයි.
හිතන්න එවැනි යානයක් අද අපට නිපදවන්න පුළුවන් වුණා කියලා.
එයට වොයේජර් පසුපස ගමන් කරන්න කියලා අපි කිව්වොත්?
වොයේජර්ගේ වේගයත් සලකා බලමින් කරන සරල ගණනයකට අනුව, තත්පරයට කිලෝමීටර් 300ක වේගය දිගටම පවත්වාගන්න පුළුවන් නම්, වසර තුනකට ආසන්න කාලයකදී වොයේජර් ඉන්න තැනට ළඟාවෙන්න පුළුවන්.
ඊටත් වඩා අමුතු යෝජනාවක් තමයි Breakthrough Starshot.
එහි අරමුණ අතිසැහැල්ලු කුඩා අභ්‍යවකාශ යානා, අතිප්රබල ලේසර් කිරණවලින් තල්ලු කරමින් ආලෝකයේ වේගයෙන් සියයට 20ක් දක්වා වේගවත් කිරීමයි.
ඒ කියන්නේ තත්පරයකට කිලෝමීටර් 60,000ක් විතර.
අපට ළඟම තාරකාවට යන්න කොච්චර කල් යයිද?
අපේ සූර්යයා හැර අපට ළඟින්ම තියෙන තාරකාව මොකක්ද?
ඒ තමයි Proxima Centauri.
ඒ තාරකාව අයිති වෙන්නේ Alpha Centauri කියන තාරකා පද්ධතියට.
එය අපට ආලෝක වර්ෂ 4.24ක් විතර ඈතින් තියෙන්නේ.
අපි මුලින් කතා කළ වොයේජර් යානය පෘථිවියේ සිට තියෙන්නේ ආලෝක දවසක දුරින්.
නමුත් ළඟම තාරකාව තියෙන්නේ ආලෝක දවස් 1,550කට ආසන්න දුරකින්!
වොයේජර් වසර 49ක් ගමන් කළ දුර වගේ 1,500 ගුණයකටත් වැඩි දුරක්.
වොයේජර් යන වේගයෙන්ම ඒ තරම් දුරක් ගියොත් අවුරුදු 75,000කට වැඩි කාලයක් ගතවෙන්න පුළුවන්.
හැබැයි වොයේජර් ඇත්තටම යන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි දිශාවට නෙවෙයි. එහි ගමන් මාර්ගය අනුව තවත් වසර 40,000කට පමණ පස්සේ Gliese 445 කියන තාරකාව අසලින්, ඒ තාරකාවට ආලෝක වර්ෂ 1.7ක් පමණ ඈතින් ගමන් කිරීමට නියමිතයි.
වොයේජර් යැව්වේ මොකටද? ඒකේ තියෙන්නේ මොනවාද?
මුලින්ම වොයේජර් යානා දෙක හැදුවේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈත ග්‍රහලෝක අධ්‍යයනය කරන්න.
වොයේජර් 1 බ්‍රහස්පති සහ සෙනසුරු ගවේෂණය කළා. වොයේජර් 2 බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ගවේෂණය කළා.
ඒ යානාවලින් තමයි අපට මේ ඈත ලෝක ගැන මුල්වරට ඉතා සමීප තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබුණේ.
අවුරුදු පහක මෙහෙයුමකට මුලින්ම සැලසුම් කළ යානා දෙකක් අවුරුදු 49කටත් පස්සේ විශ්වය ගැන තොරතුරු එවනවා.
ඒවා තුළ කැමරා, චුම්බක ක්ෂේත්‍ර මනින උපකරණ, අංශු නිරීක්ෂණය කරන උපකරණ වගේ විද්‍යාත්මක මෙවලම් තියෙනවා. සූර්ය ආලෝකය මත රඳා නොපවතින විදුලි උත්පාදක යන්ත්‍ර මගින් විදුලිය ලබාගන්නවා.
වොයේජර් 1හි ඇතැම් උපකරණ අදත් ක්‍රියාත්මකයි. නමුත් විදුලි බලය අඩුවෙන නිසා කාලයෙන් කාලයට උපකරණ නිවා දමන්න සිදුවෙනවා.
හැබැයි වොයේජර් යානයේ තියෙන වටිනාම දේ තමයි රන් තැටිය — Golden Record.
මේ යානා දෙකේම රත්තරන් ආලේප කළ තඹ තැටියක් තියෙනවා.
ඒකේ පෘථිවිය ගැන ඡායාරූප 115ක්, මුහුදු රළ ගහන සද්දය, වැස්ස, ගිගුරුම්, කුරුල්ලන්ගේ හඬ, තල්මසුන්ගේ හඬ, ලෝකයේ විවිධ සංස්කෘතීන්වල සංගීතය වගේ දේවල් ඇතුළත්.
ඒ වගේම භාෂා 55කින් සුබපැතුම් ඇතුළත් කරලා තියෙනවා.
දන්නවාද? සිංහල භාෂාවත් ඒ භාෂා 55 අතර තියෙනවා.
ඒ රන් තැටියේ සිංහලෙන් “ආයුබෝවන්!” යනුවෙන් සදහන් කරලා තියෙනවා.
මේ ලෝකයේ අපි එකිනෙකාට විරුද්ධව සටන් කරනවා. ජාති, ආගම්, දේශසීමා, බලය සහ ධනය වෙනුවෙන් එකිනෙකා මරාගන්නවා.
හැබැයි විශ්වයට අපි ගැන පණිවිඩයක් යවන්න තීරණය කළ වෙලාවේ, අපි එකිනෙකාගේ භාෂා, සංගීතය, ස්වභාවධර්මය සහ සුබපැතුම් එකතු කරලා තියෙනවා.
අපේ වෙනස්කම් තිබියදීම, අපි හැමෝම එකම පෘථිවියේ ජීවත් වෙන මනුෂ්‍යයෝ කියලා ඒ තැටිය කියනවා.
ඒ ව්‍යාපෘතියේ ප්‍රධානියා කාල් සේගන්.
කාල් සේගන් සහ පුංචි නිල් තිත
1990 පෙබරවාරි 14 වැනිදා වොයේජර් 1 යානය සූර්යයාගෙන් කිලෝමීටර් බිලියන හයක් පමණ ඈතට ගමන් කරලා තිබුණා.
එදා කාල් සේගන්ගේ යෝජනාවකට අනුව, නාසා ආයතනය වොයේජර් යානයේ කැමරාව ආපසු පෘථිවිය දෙසට හරවලා ඡායාරූපයක් ගන්න සැලැස්වූවා.
ඒ ඡායාරූපයේ පෘථිවිය පේන්නේ ඉතාම කුඩා තිතක් විදියට.
නිල්පාටට හුරු සුදු පැහැති තිතක්.
ඒ තිත කොච්චර පුංචිද කියනවා නම්, ඡායාරූපයේ පික්සලයක ප්‍රමාණයට ආසන්නයි.
මේ තමයි ලෝකයේ ප්‍රසිද්ධම අභ්‍යවකාශ ඡායාරූප අතරින් එකක් වන Pale Blue Dot.
මේ ඡායාරූපය ආශ්රයෙන් කාල් සේගන් 1994දී ලියූ පොතේ ඉතා ප්‍රසිද්ධ වාක්‍ය කිහිපයක් තියෙනවා.
“Look again at that dot. That’s here. That’s home. That’s us.”
“ආයෙත් අර තිත දිහා බලන්න. ඒ තමයි මෙතැන. ඒ තමයි අපේ ගෙදර. ඒ තමයි අපි.”
සේගන් ඒ පෘථිවිය හඳුන්වන්නේ සූර්ය කිරණක රැඳුණු දූවිලි අංශුවක් වශයෙන් — “a mote of dust suspended in a sunbeam.”
මනුෂ්‍ය ඉතිහාසයේ හිටපු හැම රජෙක්ම, හැම අධිරාජයෙක්ම, හැම දේශපාලනඥයෙක්ම, හැම විද්‍යාඥයෙක්ම ජීවත් වෙලා තියෙන්නේ ඒ පුංචි තිත ඇතුළේ.
අපේ යුද්ධ සියල්ල සිදුවෙලා තියෙන්නේ එතැන.
අපේ ආගම් බිහිවුණේ එතැන.
අපේ විප්ලව, අපේ දේශපාලන මතවාද, අපේ දේශසීමා, අපේ ආදර කතා, අපේ දුක, අපේ සතුට — මේ සියල්ලම තියෙන්නේ ඒ පුංචි තිත ඇතුළේ.
ඉතිහාසයේ අධිරාජයන් තමන්ගේ බලය පෙන්වන්න මිනිස් ජීවිත දහස් ගණනින් විනාශ කළා. භූමියේ ඉතා කුඩා කැබැල්ලක් පාලනය කරන්න ලේ වැගිරුවා.
සේගන් අපට මතක් කරලා දෙන්නේ ඒ බලය, ආධිපත්‍යය, මහා අභිමානය විශ්වයේ පරිමාණයෙන් බලද්දී කොච්චර පුංචිද කියන එක.
අපි අපේ රට විශාලයි කියලා හිතනවා.
අපේ දේශසීමා වැදගත් කියලා හිතනවා.
අපේ ආගම, අපේ ජාතිය, අපේ දේශපාලන නායකයා, අපේ බලය — මේ දේවල් වෙනුවෙන් අනෙක් මිනිසුන්ට වෛර කරනවා.
හැබැයි විශ්වයේ ඉතාම සුළු දුරක ඉඳලා පෘථිවිය දිහා බලනකොට ඒ කිසිම දේශසීමාවක් පේන්නේ නැහැ.
පේන්නේ එකම තිතක් විතරයි.
ඒකෙන් කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට වටිනාකමක් නැහැ කියන එක නෙවෙයි.
ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ අදහසක්.
විශ්වයේ මේ සා විශාලත්වය ඇතුළේ අපට ජීවත් වෙන්න දැනට දන්නා එකම ගෙදර මේ පෘථිවියයි.
ඒක ආරක්ෂා කරන්න ඕනෑ. ඒකේ ජීවත් වෙන අනෙක් මිනිසුන්ට කරුණාවෙන් සලකන්න ඕනෑ.
මොකද අපි එකිනෙකා විනාශ කරගත්තොත්, අපිව බේරගන්න වෙනත් ලෝකයකින් කවුරුහරි එන බවට කිසිම සහතිකයක් නැහැ.
මීට අවුරුදු 49කට කලින් පෘථිවියෙන් පිටත් වුණු පුංචි යානයක්, තවමත් අඳුරු අභ්‍යවකාශය හරහා ගමන් කරනවා.
ඒකේ තියෙනවා අපේ සංගීතය. අපේ සතුන්ගේ හඬ. අපේ පින්තූර. අපේ ආයුබෝවන් කියන වචනය.
කවදාහරි ඒ යානයට පෘථිවිය සමඟ කතා කරන්න බැරි වෙයි.
එහි විදුලි බලය අවසන් වෙයි.
අන්තිම රේඩියෝ සංඥාවත් පෘථිවියට ලැබිලා අවසන් වෙයි.
හැබැයි වොයේජර්ගේ ගමන එතැනින් නතර වෙන්නේ නැහැ.
ඒ යානය තවත් වසර දහස් ගණනක්, ලක්ෂ ගණනක්, සමහරවිට ඊටත් වැඩි කාලයක් විශ්වය හරහා ගමන් කරාවි.
එදාට මේ ලෝකයේ අද අපි සටන් කරන බොහෝ දේවල් ඉතිහාසයෙන් මැකිලා ගිහින් තියෙන්න පුළුවන්.
අපේ දේශපාලන නායකයන්ගේ නම් අමතක වෙලා තියෙන්න පුළුවන්. අපි අද මේ තරම් වැදගත් කියලා හිතන දේශසීමා වෙනස් වෙලා තියෙන්න පුළුවන්.
හැබැයි ඈත විශ්වයේ කොහේ හරි, මනුෂ්‍යයන් නිපදවපු පුංචි යානයක්, පෘථිවියේ සංගීතයත් අපේ සුබපැතුම්ත් අරගෙන තවමත් ගමන් කරමින් ඉඳීවි.
අපි එකිනෙකාට වෛර කරන්න තරම් හේතු හොයාගන්නවා.
හැබැයි අපි හැමෝම එකම පුංචි ලෝකයක වැසියන් බව විශ්වයට කියන්නත් උත්සාහ කරනවා.
අපි විශ්වය ජයගන්න හදන මිනිස්සු. හැබැයි අපේ එකම ගෙදර වෙන මේ පුංචි නිල් තිත ඇතුළේ සාමයෙන් ජීවත් වෙන්න තවමත් ඉගෙනගෙන නැහැ.
