ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැයට අනුකූලව තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලෙස පෞද්ගලික සමාගම් කරන ඉල්ලීමක් රජය විසින් සලකා බැලීමට ඉඩ ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසා ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබේ.
“මෙම පෞද්ගලික සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම්වලට අනුව මෙවැනි ඉන්ධන මිල සංශෝධනයන් සඳහා කිසිදු නෛතික බාධාවක් නොමැති” බව අමාත්‍යවරයා ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට පැවසීය.
මේ අතර මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඉන්ධන ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම නිසා වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම ඔවුන්ට අපහසු වී ඇති බව පෞද්ගලික ඉන්ධන සමාගම් රජයට දැනුම් දී ඇත.
බටහිර ආසියානු ගැටුම හේතුවෙන් මුහුදු මාර්ගවලට සිදුව ඇති බාධා නිසා ශීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන ගොඩබෑමේ පිරිවැය සම්බන්ධයෙන් IOC, Sinopec සහ RM Parks ඇතුළු පෞද්ගලික සමාගම් සිය කනස්සල්ල පළ කර ඇති බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත් පිරිවැය ඉහළ ගියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඉන්ධන සඳහා ගොඩබෑමේ පිරිවැය එකතු නොකරනු ඇත.
“ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැඩි අලාභ ලබමින් සිටින නමුත් ගොඩබෑමේ පිරිවැය මත පදනම්ව මිල ගණන් සංශෝධනය නොකරනු ඇති” බව එම නිලධාරියා පවසා ඇත.
මේ අතර බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන සඳහා ලෝක වෙළෙඳපොළ මිල ගණන්වල පවතින දැඩි උච්චාවචනයන් හේතුවෙන් ඉහළ යන ඉන්ධන මිලට සමගාමීව ලබන මාසයේ සිට වඩාත් නිතිපතා ඉන්ධන මිල සංශෝධනයන් සිදු කිරීම පිළිබඳව සලකා බැලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් පවසා ඇත.
දැනට සිල්ලර මිල ගණන් පාලනය කරනු ලබන්නේ වරින් වර ක්‍රියාත්මක වන මිල සූත්‍රයක් හරහා වන අතර එයින් ලෝක වෙළෙඳපොළ මිල ගණන්වල වෙනස්වීම් පිළිබිඹු නොවන බැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැවැන්ත පාඩු සිදුවන බවද නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් වර්තමානයේ ඉන්ධන පිරිවැයේ දක්නට ලැබෙන තියුණු වර්ධනය සහ ඉහළ ගොඩබෑමේ මිල ගණන් සමඟ මෙම සංශෝධනයන් වඩාත් නිතර සිදුවනු ඇති බවත් මේ හේතුවෙන් මිල ගණන් නිරන්තරයෙන් ඉහළ යාමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.
බටහිර ආසියාවේ පවතින ගැටුම් හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයේම මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.
ඉන්ධන පිරිවැය නොවෙනස්ව පැවතියද, ඇණවුමක් ලබා දෙනු ලබන්නේ රටට තොග ලැබීමට මාස දෙකකට පමණ පෙර බව ඔහු පැහැදිලි කළේය.
අවසන් මිල වෙනස් වන්නේ ගොඩබෑමේ පිරිවැය සූත්‍රය හේතුවෙන් බවත් ඊට විචල්‍ය සාධක රැසක් ඇතුළත් වන අතර ඒවා ගණනය කරනු ලබන්නේ නෞකාවෙන් තොග ගොඩබාන අවස්ථාවේදී පමණක් බවත් ඔහු පවසා ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවට සේවය සැපයීම සහතික කිරීමට අපේක්ෂා කරන බවත් මිල ඉහළ යාමේ බලපෑමෙන් යම් ප්‍රමාණයක් සමනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
