පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට 2019 වසරේදී තමන් විසින් ජනාධිපති සමාව ලබාදීමට තීරණය කළේ තම නිල කාලයේ පැවති ව්‍යවස්ථාපිත බලතලවලට අනුව බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඥාණසාර හිමියන්ට හිමි වූ ජනාධිපති සමාව ඊයෙ දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කරනු ලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ඥාණසාර හිමියන්ට යළිත් බන්ධනාගාරගත වීමට සිදුවන නෛතික පසුබිමක් නිර්මාණය වුණා.
එම ජනාධිපති සමාව අහෝසි කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, තමන් ඒ පිළිබඳව මෙතෙක් නිවැරදි කරුණක් නොදන්නා බවත් මෙතෙක් ඒ පිළිබඳව කිසිඳු දෙයක් පැවසීමට නොහැකි බවයි.
එය නිසි අධ්‍යයනයකින් පසුව ලබාදුන් සමාවක්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.
“ඔව්. ඉතින් ඒක මම මගේ කාලෙ හැටියට මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා. ඉතින් ඊළඟට මට කියන්න බෑ දැන් මොන තත්ත්වයක් උඩද කියලා. මොකද 19 වැනි සංශෝධනය යටතේ මගෙ බලතල මම අයින් කළා. මගෙ නිලකාලය අයින් කළා. බලතල අඩු කළා. ඊට පස්සෙ ආපු රජයේ අය නැවත එය මේ ඉවත් කරලා 19 වැනි සංශෝධනයේ තියෙන බලතල, 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළා. ඒ තුළ ඉතින් ජනාධිපතිවරයෙකුට විශාල බලතල රාශියක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ ගැන කියන්න පුළුවන්කමක් නෑ.”
2016 ජනවාරි 25 වැනිදා 2010 ජනාධිපතිවරණයට පෙර අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවතුණා.
ඥාණසාර හිමියන් මෙම නඩුවට කිසිදු සම්බන්ධයක් ඇති පාර්ශ්වකරුවෙකු නොවූවද, උන්වහන්සේ අවසරයකින් තොරව විවෘත අධිකරණයේදී රිමාන්ඩ් කර සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ට ඇප ලබාදෙන ලෙස බලපෑම් කළා.
එමෙන්ම උන්වහන්සේ, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතාට “නපුංසක රාජ්‍ය නිලධාරියා” යැයි අපහාස කළ අතර, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ද ප්‍රසිද්ධියේ තර්ජනය කර බැනවැදුණා.
මේ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනුකළ නඩුවේදී (අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හතරකට) ඥාණසාර හිමියන් වරදකරු වූ අතර, එක් එක් චෝදනාවට වෙන් වෙන්ව නියම වූ සිරදඬුවම්වල එකතුව වසර 19ක් වුවද, ඒවා සමගාමීව ගෙවී යාමට නියම කළ බැවින් උන්වහන්සේට වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හිමි වුණා.
2022 ජූලි මස අවසන් වීමට නියමිතව තිබූ මෙම සිරදඬුවම, 2019 මැයි මාසයේදී ජනාධිපතිවරයා වෙත යොමුවූ ලිපි සහ ඉල්ලීම් මත හදිසියේම අත්හිටුවන ලැබුවා.
මැයි 21 වැනිදා බන්ධනාගාර වාර්තා කැඳවා, එදිනම නිර්දේශ සකස් කර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හුදෙක් ‘අනුමත කරමි’ යන වචන කිහිපයෙන් ඊට අත්සන් තබනු ලැබුවා.
මෙම අත්තනෝමතික සමාවට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගොනුකළ පෙත්සම් සලකා බැලූ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, 2026 සැප්තැම්බර් 10 වැනිදා මෙම ඓතිහාසික තීන්දුව ලබාදෙමින් ජනාධිපති සමාව අහෝසි කළා.
එයට බලපෑ ප්‍රධාන හේතු වන්නේ:
- ජනාධිපති සමාව යනු පෞද්ගලික අභිමතයක් නොව, මහජන යහපත උදෙසා භාවිත කළ යුතු බලයක් වීම.
- අදාළ සමාව ලබාදීමට කිසිදු ලිඛිත හේතුවක් දක්වා නොතිබීම.
- අධිකරණයට අපහාස කිරීම වැනි වරදකට අත්තනෝමතික ලෙස සමාව දීම සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය කිරීමක් වීම.
කෙසේවෙතත් ජනාධිපතිවරයෙකුට සමාවක් දීමට බලය තිබුණද, අධිකරණ තීන්දුවක් හෝ සිරදඬුවමක් ඉන් මුළුමනින්ම මකා දැමිය නොහැකියි.
සමාවකින් සිදුවන්නේ දඬුවම ක්‍රියාත්මක වීම අත්හිටුවීම පමණයි.
මේ අනුව ජනාධිපති සමාව නීතියෙන් ශූන්‍ය වූ බැවින්, ඥාණසාර හිමියන්ට සිය වසර හයක මුල් සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට යළිත් බන්ධනාගාරගත වීමට සිදුවන නීතිමය කටයුතු ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වනවා.
ලංකාවේ විධායක ජනාධිපතිවරයාට කොතරම් බලයක් තිබුණද, එම බලය අවභාවිත කර අධිකරණයට නිග්‍රහ කළ අයෙකු නීතියෙන් බේරාගත නොහැකි බවට මෙම සිද්ධියෙන් ගතහැකි විශාලතම ආදර්ශය වනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හදිසි අත්සනින් ඥාණසාර හිමියන් එදා බේරුණද, නීතියේ ආධිපත්‍යය ඊට වඩා ප්‍රබල බව අද ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කර තිබෙනවා.
