දේශපාලනඥයින්ට වඳින්නට අවශ්‍ය නොවන බව පවසමින් දරුවන් එයින් වැළැක්වීමට යාමේදී සිදුවූ ස්පර්ශයක් මිස තම ක්‍රියාව තුළ කිසිදු අනිසි චේතනාවක් නොතිබූ බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට එල්ල වන ළමා අපචාර චෝදනා සහ විවේචන සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අලුතින් ඉදිකළ නිවාස විවෘත කිරීමේ උත්සවවලදී දරුවන් තමන්ට බුලත් ලබා දී වැඳීමට උත්සාහ කළ බවත් එම අවස්ථාවේදී එය වැළැක්වීමට යාමේදී මෙලෙස එම දරුවන් ස්පර්ශ වූ බවයි.
“ඔය දරුවා බුලත් අත දීලා මට වඳින්න හදනකොට, මම වඳින්න එපා පුතේ කියලා අත් දෙකෙන් උස්සනවා. මගේ එහා පැත්තේ හිටපු දෙන්නට ඒ දරුවා වැන්දා. මම කිව්වා, වඳින්න එපා පුතේ, දේශපාලනඥයින්ට වඳින්න ඕන නැහැ ඕගොල්ලෝ කියලා, අම්මා තාත්තට වඳින්න කියලා මම අත් දෙකෙන් අල්ලලා අයින් කළා. ඔය හැම ෆොටෝ දෙක තුනේ ම, ඒ දරුවන්ගේ අතින් අල්ලගෙන මම කියන්නේ වඳින්න එපා කියලා,” යනුවෙන් අමාත්‍යවරයා අදාළ ඡායාරූප පිළිබඳව විස්තර කර තිබෙනවා.
මැටි ගෙයක සිට පාසල් ගිය දරුවෙකුට නව නිවසක් ලැබීමේ සතුට බෙදාගැනීමේ මානුෂීය අරමුණින් තමන් එම දරුවන් හා කතාබහ කළ බව ද ටී බී සරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේවෙතත් දරුවන් සමඟ පෙනී සිටින ආන්දෝලනාත්මක ඡායාරූප සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් සහ ළමාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන නීතිමය කෝණයකින් පෙන්වා දීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බවත් එම කරුණු තමන් කිසිසේත් අභියෝගයට ලක් නොකරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
තම ක්‍රියාව පිටුපස කිසිදු අනිසි චේතනාවක් හෝ අපයෝජනාත්මක අරමුණක් නොතිබූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය සහ විවේචකයින් අර්ථ දක්වන ආකාරයේ ක්‍රියාවලියක් එහි සිදු නොවූ බවත් එය හුදෙක් දරුවන් කෙරෙහි දැක්වූ සැබෑ ආදරය සහ සෙනෙහස මත පදනම් වූවක් බව පෙන්වාදෙනවා.
කෙසේ වෙතත් තමන්ට එරෙහිව එල්ල වන විවේචන පසුපස දේශපාලන ඊර්ෂ්‍යාවක් ඇති බව පවසන ඔහු සඳහන් කරන්නේ, විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ නාමල් රාජපක්ෂ මහතාගේ කාලයේදී අකුරැස්සේ දරුවන් 400ක් දූෂණය කළ පොහොට්ටුවේ සභාපතිවරයාගේ සිද්ධියේදී මෙන්ම, හම්බන්තොට සිදුවූ ළමා අපචාරවලදී නිහඬව සිටි පිරිස් අද තමන්ට එරෙහිව හඬ නගන බවයි.
“ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
දරුවෙකුගේ ශරීරය දරුවාට අයිතියි!
නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා සහ කුඩා දරුවන් අතර සිදුවූ මෙම ආන්දෝලනාත්මක ඡායාරූප පෙළ සමාජය තුළ විශාල කතිකාවතක් නිර්මාණය කර තිබුණා.
ඇතැමුන් මෙය දේශපාලන මඩ ගැසීමක් ලෙස දකින අතර තවත් පිරිසක් මෙය ළමා අපයෝජනයක් ලෙස හඳුන්වනු ලැබුවා.
එහෙත් මෙම සිදුවීම දෙස අප මධ්‍යස්ථව සහ ළමා මනෝවිද්‍යාත්මක කෝණයකින් බැලිය යුතු වනවා.
අමාත්‍යවරයාගේ අරමුණ කුමක් වුවත් මෙම සිදුවීම හරහා වත්මන් ආණ්ඩුව ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන සංවේදීතාව පිළිබඳ බරපතල ප්‍රශ්නාර්ථයක් මතුවනවා.
ස්පර්ශයේ භාෂාව සහ වැඩිහිටි වගකීම
අපේ සමාජයේ බොහෝ වැඩිහිටියන්ට, විශේෂයෙන්ම ගුරුවරුන්ට, දේශපාලනඥයින්ට සහ ඥාතීන්ට දරුවන් ස්පර්ශ කිරීමට අයිතියක් ඇතැයි යන වැරදි මතයක් පවතිනවා.
“ළමයින්ව අල්ලන්නම එපා” යන්න මින් අදහස් නොවේ. ආදරණීය ස්පර්ශය දරුවෙකුගේ වර්ධනයට අත්‍යවශ්‍ය බව යුනිසෙෆ් සංවිධානය ද පෙන්වාදෙනවා.
නමුත් ස්පර්ශයට භාෂාවක් ඇත. කවුද ස්පර්ශ කරන්නේ, කාවද, කොතැනද, කෙතරම් වේලාවක් ද සහ ඊට දරුවාගේ ප්‍රතිචාරය කුමක්ද යන්න මත එම ස්පර්ශයේ අර්ථය වෙනස් වනු ඇති.
ටී.බී. සරත් මහතා පැරණි ගුරුවරයෙක් වනවා. දරුවන් සමඟ වැඩ කර ඇති ඔහුට මෙවැනි සංවේදී කරුණු පිළිබඳ මීට වඩා අවබෝධයක් තිබිය යුතුයි. අමාත්‍යවරයෙකුට නිවාස විවෘත කිරීමේදී දුප්පත් ජනතාවගෙන් බුලත් රැගෙන, වැඳුම් පිදුම් ලබන පසුගාමී සංස්කෘතියක් තවදුරටත් අවශ්‍ය නැත.
හිත කියවිය නොහැක! සීමා පැනවීම අත්‍යවශ්‍යයි
එමෙන්ම අමාත්‍යවරයාගේ සිත තුළ තිබූ දේ ඡායාරූපයකින් නිශ්චය කළ නොහැකියි. එය දේශපාලනඥයෙකු වීම නිසාම ඔහු කරන සෑම දෙයක්ම නිවැරදි යැයි ද කිව නොහැකියි. ළමා ආරක්ෂණ ක්‍රමවේද නිර්මාණය කර ඇත්තේම, වැඩිහිටියන්ගේ හිත කියවීමට අපට නොහැකි නිසාය. එබැවින් නොකළ යුතු දෑ පිළිබඳ පැහැදිලි සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය වනවා.
ළමා ආරක්ෂාව දේශපාලනයට යට විය යුතු ද?
ළමා ආරක්ෂාව පක්ෂ පාට මත වෙනස් විය යුතු නැත. එහෙත් මෑතකාලීන සිදුවීම් කිහිපයක් හරහා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ගැටලු මතු වනවා.
කොටහේන දැරියගේ සිදුවීම: අපයෝජනයට ලක්වූ කොටහේන දැරියට ටියුෂන් ගුරුවරයෙකු කළ බලපෑම පිළිබඳව චෝදනා එල්ල වූ විට, ආණ්ඩුව ඔහු ආරක්ෂා කිරීමට කටයුතු කළා.
ළමා කටයුතු ඇමතිනිය පවා පාර්ලිමේන්තුවේදී කතා කළේ වින්දිත දැරියගේ මව්පියන්ට දොස් පවරමින්.
පල්ලේගම හේමරතන හිමි : පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධියේදී ද ආණ්ඩුව සිය දේශපාලන සබඳතා වෙනුවෙන් නිහඬව සිටියා පමණක් නොව ඊට මැදිහත් වූ ළමා රක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පාර්ලිමේන්තු කාරක සභාවකදී දැඩි ලෙස දොස් පවරනු ලැබුවා.
මේවායින් පෙනී යන්නේ ආණ්ඩුව තවමත් ළමා ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් සංවේදීතාවක් නොදක්වන බවයි.
මව්පියන්ගේ වගකීම: “No means No”
මෙම ඡායාරූපවලින් සහ ඒ සමාන සමාජ අත්දැකීම්වලින් අප උගත යුතු වැදගත්ම පාඩම වන්නේ, තමන්ගේ දරුවා යනු අන් අයව සතුටු කිරීමට සිටින බෝනික්කෙකු නොවන බවයි.
දරුවෙකු යම් පුද්ගලයෙකු වෙත යාමට අකමැති නම්, ඈත් වෙනවා නම්, නිහඬ වෙනවා නම් එතැන ගැටලුවක් තිබෙනවා.
එය හුදෙක් දරුවාගේ “ලැජ්ජාව” ලෙස සලකා වැඩිහිටියන් සතුටු කිරීම සඳහා දරුවාව බලහත්කාරයෙන් ඉදිරියට තල්ලු කිරීම වහාම නැවැත්විය යුතුයි.
දරුවාගේ බිය සහ අකමැත්ත, සමාජ සබඳතාවලට වඩා දහස් ගුණයකින් වටිනා බව අප තේරුම් ගත යුතුයි
එමෙන්ම කුඩා කල සිටම දරුවන්ට සිය කැමැත්ත සහ අකමැත්ත ප්‍රකාශ කිරීමට, “එපා” යැයි කීමට ඇති අයිතිය සමාජය විසින් තහවුරු කළ යුතුව තිබෙනවා.
