යාතිකා බලයෙන් ඉඩම් විකුණන හොර කපුවෙකු අත්අඩංගුවට

විකුණාගත නොහැකි ඉඩම් හා නිවාස යාතිකා බලයෙන් විකුණා දිය හැකි බව පවසමින් පුද්ගලයන් රවටා රුපියල් කෝටි 2ට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචා කළ බව කියන කපුවකු ලෙස පෙනී සිටි 54 හැවිරිදි පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් වංචා සහගතව ලබාගත් බව කියන පවුම් 40කට අධික රන් භාණ්ඩ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, තම නිවාස සහ ඉඩම් විකිණීමට ඇති බවට සතිඅන්ත පුවත්පත්වල දැන්වීම් පළ කරන කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ මෙම වංචාව සිදුකර ඇති බවයි.

මිරිහාන ප්‍රදේශයේ කාන්තාවක් තම ඉඩම සහ නිවෙස විකිණීමට ඇති බවට සතිඅන්ත පුවත්පතක අවස්ථා කිහිපයකදී දැන්වීම් පළ කර තිබී ඇත.

එම දැන්වීම් පිළිබඳව අවධානයෙන් සිටි සැකකරු, අදාළ කාන්තාවගේ දුරකථනයට ඇමතුම් ලබාගෙන දුර බැහැර ප්‍රදේශයක ප්‍රසිද්ධ දේවාලයක නමක් සඳහන් කරමින් එහි කපුවකු ලෙස පෙනී සිට ඇති බව පොලිසිය පවසයි.

කාන්තාවගේ නිවෙස සහ ඉඩම දීර්ඝ කාලයක් තිස්සේ විකිණීමට නොහැකිව තිබීම තමන්ට දේව බලයෙන් පෙනී යන බවත්, යාතිකාවක් සිදුකර ඉඩම කඩිනමින් විකුණා දිය හැකි බවත් සැකකරු පවසා ඇතැයි සඳහන් වේ.

සැකකරුගේ කතාබහට රැවටුණු කාන්තාව ඔහු නිවෙසට කැඳවා වැඩිදුර විස්තර විමසා ඇති අතර, යාතිකාව සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් අවශ්‍ය බව ඔහු පවසා තිබේ.

කතිකා කරගත් පරිදි නිවෙසට පැමිණි සැකකරු, තමන් ලබාදුන් භාණ්ඩ ලැයිස්තුවට අනුව කුඩා මුට්ටියකට නිවෙසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් දමා රතු හෝ සුදු පැහැති රෙද්දකින් ආවරණය කර රැගෙන එන ලෙස කාන්තාවට උපදෙස් දී ඇත.

අනතුරුව එම මුට්ටිය බුලත් සහ මල්වලින් සකස් කළ මල් යහනක් මත තබා පැය කිහිපයක් යාතිකා කර තිබේ.

දින 21කට පසුව නිවෙස සහ ඉඩමට පැන් ඉස, එදින මුට්ටිය තුළට දැමූ රන් භාණ්ඩ ලබාගන්නා ලෙස සැකකරු කාන්තාවට පවසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම දින 14ක් ඇතුළත ඉඩම මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවකු අනිවාර්යයෙන් පැමිණෙන බව පවසමින් පොරොන්දු වූ මුදලද ලබාගෙන සැකකරු පිටව ගොස් තිබේ.

සැකකරුගේ උපදෙස් අනුව කටයුතු කළ කාන්තාව දින 21කට පසු මුට්ටිය ගොඩගෙන පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබිය යුතු රන් භාණ්ඩ කිසිවක් නොතිබූ බව පොලිසිය පවසයි. එමෙන්ම නිවෙස සහ ඉඩම මිලදී ගැනීමට කිසිදු පුද්ගලයකු පැමිණ නොතිබිණි.

මේ සම්බන්ධයෙන් කාන්තාව මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී, මෙවැනිම සිදුවීමකට අදාළ පැමිණිල්ලක් වැලිකඩ පොලිසියේද සටහන් වී ඇති බව අනාවරණය වී තිබේ.

පසුව පැමිණිලි දෙක සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඇති අතර ලැබුණු තොරතුරකට අනුව, බිංගිරිය, තලගහවත්ත ටොප්සිටි වත්ත ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මිරිහාන පොලිස් වසමේ තවත් කාන්තාවක රවටා රන් භාණ්ඩ වංචා කිරීම, වැලිකඩ පොලිස් වසමේදී රුපියල් ලක්ෂ 8කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචා කිරීම ඇතුළු සිදුවීම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

යාතිකාව සිදුකරන අතරතුර සැකකරු විසින් සූක්ෂ්ම ලෙස සඟවාගෙන පැමිණි රතු හෝ සුදු පැහැති රෙද්දකින් ආවරණය කළ සමාන කුඩා මුට්ටියක් මල් යහන මත තබා, රන් භාණ්ඩ දමා තිබූ මුට්ටිය මාරු කර ඇති බවට පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

එලෙස වංචා සහගතව ලබාගත් රන් භාණ්ඩ මට්ටක්කුලිය ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කළ බවට සැකකරුගෙන් අනාවරණය වීමෙන් අනතුරුව, 36 හැවිරිදි එම පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading