2027 වසර සඳහා වන අයවැය ජනාධිපතිවරයා විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම අයවැය පිළිබඳව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවාදයක් ගොඩනැගී ඇති පසුබිමක, SATAHAN Radio මගින් ඒ සම්බන්ධයෙන් විශේෂ සජීවී සංවාදයක් සහ ආර්ථික විග්‍රහයක් පැවැත්වීය.
එහිදී අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂක ධනූෂ පතිරණ පෙන්වා දුන්නේ, 2027 අයවැය දෙස බැලීමේදී රාජ්‍ය ආදායම් සහ වියදම් පිළිබඳ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවී, සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය, ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, නිෂ්පාදන ආර්ථිකය සහ බදු ප්‍රතිපත්තියේ සාධාරණත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවයි.
ඔහුගේ විග්රහයේ මූලික අදහස වූයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලිය තුළ සාමාන්‍ය ජනතාව මත පැටවෙන ආර්ථික පීඩනය පිළිබඳව අයවැය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි.
භාණ්ඩාගාරය පිරෙන විට ජනතාවගේ ජීවන තත්ත්වය පහළට?
සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ආර්ථික අභියෝග ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම, ජීවන වියදම සහ සැබෑ ආදායම් මට්ටම් පහත වැටීම ධනූෂ පතිරණ පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ ළමුන් අතර මන්දපෝෂණ තත්ත්වය උග්‍ර වී ඇති බවත් වයස අවුරුදු 5ත් 17ත් අතර පාසල් දරුවන් සම්බන්ධයෙන් වාර්තා වී ඇති පෝෂණ ගැටලු, උසට සරිලන බර නොමැති වීම සහ අඩු බර වැනි තත්ත්වයන් පිළිබඳව ද ඔහු අවධානය යොමු කළේය. එමෙන්ම දරිද්‍රතා අනුපාතය සියයට 16ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙවැනි තත්ත්වයක් තුළ රජය අනුගමනය කරන වක්‍ර බදු ප්‍රතිපත්තිය ජනතාවගේ ජීවන වියදම තවදුරටත් ඉහළ නැංවීමට බලපාන බව ඔහුගේ අදහස විය.
ළඟදිම ආපු සංඛ්‍යා ලේඛන වල තියෙන කාරණයක් තමයි අපේ පාසල දරුවන්ගේ, ඒ කියන්නේ අවුරුදු පහේ ඉඳන් 17 අතර මන්දපෝෂණය ඉහළ ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර උසට සරිලන බරක් නැහැ, අන්ඩවෙයිට් කියන එක. ඊට පස්සේ කෙසඟ බව. එතකොට මේක තියෙනවා 20ක් 25ත් අතර. එතකොට මේ මේ වසර දෙකක කාලය තුළද මේ තත්ත්වය උග්‍ර වෙලා තියෙනවා. එතනින් එහාට ගත්තහම අපේ දරිද්‍රතා අනුපාතය 16 දක්වා ඉහළ ගිහින් තියෙනවා.
මේ වක්‍ර බදු කියන එක දැවැන්ත කාර්යභාරයක් මේකෙදි ඉටු කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම අපි බලන්න ඕනේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පනවල තියෙන මේ බදු වලින් තමයි 80%ක් විතර රාජ්‍ය මේ කියන දැවැන්ත භාණ්ඩාගාරය පුරවලා උතුරෝලා යවලා තියෙන්නේ. ඉතින් මේ පැත්තෙන් ඒ භාණ්ඩාගාරය ඉතිරෙනකොට මේ පැත්තෙන් ළමයින්ගේ මන්දපෝෂණයත් ඉතිරිලා ගිහින් තියෙනවා.
වක්‍ර බදු බර තවදුරටත් ජනතාව මත
අපි බලන්න ඕනේ සමස්ත වක්‍ර බදු මොන වගේ ප්‍රමාණයක්ද ආණ්ඩුවෙන් පූර්ව කථනය කරන්නේ කියලා. මම හිතන්නේ මේවා නිවුස් විදිහට යයි හාල්මැස්සන්ගේ බත් අඩු කරලා, පොත් වල වැට් එක අඩු කරා කියලා. ඒක එක පැත්තකින් එහෙම හරි කරපු එක හොඳයි. නමුත් අපි මේකේ සමස්ත දිහා බලපුවාම සමස්ත වක්‍ර බදු වලින් තමයි ආණ්ඩුව ඉදිරියේදී බදු අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ.
ධනූෂ පතිරණගේ විග්රහයේ ප්‍රධානතම අවධානයක් යොමු වූයේ රජයේ බදු ආදායම් ව්‍යුහය වෙතය. ඔහු පෙන්වා දෙන පරිදි 2027 වසරේදී සමස්ත බදු ආදායම රුපියල් බිලියන 200කින් පමණ ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන අතර, එම වැඩිවීමෙන් රුපියල් බිලියන 170ක් පමණ වක්‍ර බදු හරහා ලබාගැනීමට අපේක්ෂා කරයි. සෘජු බදු හරහා අපේක්ෂිත වැඩිවීම රුපියල් බිලියන 30ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.
ඔහුගේ අදහස අනුව, මෙම බදු ආදායම් ව්‍යුහය තුළ පවතින අසමතුලිතතාව තවදුරටත් පවත්වාගෙන යාමට එය හේතු වේ.
විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අය කරන වක්‍ර බදු අවසානයේදී පාරිභෝගිකයාගේ මිලට එකතු වන බැවින්, අඩු ආදායම්ලාභී ජනතාවට එහි බලපෑම වැඩි වශයෙන් දැනෙන බව ඔහු පෙන්වා දුන්නේය.
එසේම අයවැයෙන් හාල්මැස්සන් සහ උම්බලකඩ වැනි භාණ්ඩ සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීම මෙන්ම අභ්‍යාස පොත් සඳහා වැට් බද්ද ඉවත් කිරීම සාධනීය පියවරක් වුවද එලෙස තෝරාගත් භාණ්ඩ කිහිපයක බදු අඩු කිරීම සමස්ත බදු ප්‍රතිපත්තියේ පවතින ගැටලුවට විසඳුමක් නොවන බව ඔහු පවසා සිටියේය.
බදු ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකයටත් බාධාවක්?
වක්‍ර බදු වැඩි වීමේ බලපෑම පාරිභෝගිකයාගේ ජීවන වියදමට පමණක් සීමා නොවන බවත්, එය දේශීය නිෂ්පාදන ආර්ථිකයේ තරගකාරීත්වයට ද බලපාන බවත් ධනූෂ පතිරණ පෙන්වා දුන්නේය. ඔහුගේ විග්රහයට අනුව, නිෂ්පාදකයෙකුට අමුද්‍රව්‍ය, ශ්‍රමය සහ අනෙකුත් නිෂ්පාදන යෙදවුම් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවන විට, අවසානයේ එම පිරිවැය නිෂ්පාදන මිලට එකතු වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදන ආනයනික භාණ්ඩ සමඟ තරග කිරීමේදී දුර්වල විය හැකි අතර අපනයන වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය පවත්වා ගැනීම ද අසීරු වේ.
මේක ආර්ථිකයේ තියෙන මූලික ආකෘතිමය ගැටලුවට සරිලන බදු ක්‍රමයක් නෙමෙයි. මොකද අවශ්‍ය කරනම දේවල් වලට බදු පනවපුවාම, කවුරු හරි නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් දැන් ඒගොල්ලන්ට ශ්‍රමය මිලට ගන්න සිද්ධ වෙනවා. එතකොට අර මනුස්සයාට තියෙන අවශ්‍යතා ඉෂ්ට කරගන්න පුළුවන් වැටුපක් නෙමෙයි ගෙවන්න වෙන්නේ. එතකොට ඒ අවම වැටුපේ මිල ඉහළ යනවා වෙළඳපොළ මට්ටමට. ඉතින් ඊට පස්සේ වෙන්නේ එයාට තරඟ කරන්න වුණොත්, දැන් දේශීය වෙළඳපොළට භාණ්ඩ එනවා නම්, ආනයනය වනවා නම්, ඒවා එක්ක තරඟ කරන්න බැරි වෙනවා. ඒ වගේම අපනයන කරන්න ගියහමත් මේක අපහසුතාවයට ලක් වෙනවා. එතකොට ඒ මේ ඒ නිෂ්පාදන ආකෘතිය තවත් දුර්වල කරන වක්‍ර බදු ක්‍රමයක් මෙතන තියෙනවා. මම හිතන්නේ ඒක සාකච්ඡාවට බඳුන් විය යුතු දෙයක්.
ඒ අනුව, ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක දුර්වලතා විසඳීම වෙනුවට වක්‍ර බදු මත වැඩි වශයෙන් රඳා පවතින බදු ක්‍රමයක් මගින් එම ගැටලු තවදුරටත් උග්‍ර කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ සඳහා අය කරන සෙස් බදු අඩු කිරීම නිෂ්පාදන ක්ෂේත්රයට සහනයක් වන නමුත් එය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවන වියදම පිළිබඳ ගැටලුවට සෘජු විසඳුමක් නොවන බව ද ඔහුගේ අදහස විය.
සමාගම්වලට බදු සහන, ජනතාවට බදු බර?
සෙස් බද්ද අඩු වෙන කතාව තිබුණේ මීට කලින් ඉඳන්. ආණ්ඩුවේ ඔය බදු සම්බන්ධයෙන් රිපෝර්ට් එකක් දාලා තිබුණා මේ මාසෙට විතර කලින්. එතකොට ඒකේ තියෙනවා සෙස් බද්ද නැති කරන්නේ මැෂිනරි සහ අමුද්‍රව්‍ය වල. එතකොට ඒක හොඳයි, ඒ කියන්නේ නිෂ්පාදනය පැත්තෙන්, ඒගොල්ලන්ගේ වියදම අඩු වෙනවා.
නමුත් දැන් මේ තියෙන මූලික ජීවන වියදම පිළිබඳව අපි බැලුවොත් එහෙම ඒ තත්ත්වය උග්‍ර වෙනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. මොකද තව උදාහරණයක් ගත්තොත් ගිය අවුරුද්දේ ස්පෙෂල් කමෝඩිටීස් ලෙවි කියන එකෙන් තමයි වැඩිපුරම බදු ආදායම වැඩි වීමක් තියෙන්නේ. ඒ කියන්නේ 40 බදු ආදායම වැඩි වෙලා තියෙන්නේ ඒකෙන්. අපි ඔය කෝපරේට් සෙක්ටර් එකට ගහන, නැත්නම් සමාගම් පියවන කෝපරේට් ටැක්ස් එක, ලාභයට මත උපයන බද්දද වැඩි වෙලා තිබුණේ 10යි. එතකොට ඒ වගේ හතර ගුණයක් වැඩි වෙලා තියෙනවා සාමාන්‍ය පුද්ගලයින්ගෙන් අය කරන මේ බදු.
අයවැය විග්රහයේදී ඔහු මතු කළ තවත් වැදගත් කරුණක් වූයේ සමාගම් සඳහා ලබාදී ඇති බදු සහන සහ සාමාන්‍ය ජනතාව මත පැටවෙන බදු බර අතර පවතින විෂමතාවයි.
ධනුෂ සඳහන් කළ පරිදි, පසුගිය වසරේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද හරහා රජයේ බදු ආදායම රුපියල් බිලියන 40කින් පමණ ඉහළ ගොස් තිබේ. එයට සාපේක්ෂව සමාගම්වල ලාභ මත අය කරන ආයතනික ආදායම් බදු ආදායමේ වැඩිවීම රුපියල් බිලියන 10ක් පමණ බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම සංඛ්‍යා සසඳමින් ඔහු පෙන්වා දුන්නේ සාමාන්‍ය ජනතාවට බලපාන බදු ආදායම් වැඩිවීමේ වේගය, සමාගම්වලින් අය කරන බදු ආදායමේ වැඩිවීමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ බවයි.
එමෙන්ම ඇතැම් සමාගම් සඳහා ක්‍රියාත්මක වන බදු සහන ප්‍රතිපත්ති පිළිබඳව ද ඔහු ප්‍රශ්න කළේය. ඔහු සඳහන් කළේ ඇතැම් සමාගම්වලට ලබාදී ඇති ආයතනික බදු සහන හේතුවෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 70ක පමණ ආදායමක් අහිමි වී ඇති බවයි. එවැනි බදු සහනවල ආර්ථික ප්රතිලාභ මොනවාද, ඒවා මගින් රැකියා උත්පාදනයට සහ නිෂ්පාදන වර්ධනයට ලැබී ඇති දායකත්වය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි ඇගයීමක් අවශ්‍ය බව ඔහුගේ අදහස විය.
විශේෂයෙන්ම වක්‍ර බදු සහන අඩු කිරීමක් සිදු කළහොත් ඒවායේ බර නැවතත් භාණ්ඩ හා සේවා මිල හරහා ජනතාව මත පැටවිය හැකි බැවින්, සෘජු බදු සහන සහ වක්‍ර බදු සහන අතර වෙනස හඳුනාගෙන ප්‍රතිපත්ති සකස් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
වෘත්තිකයන් රට හැර යන විට ආර්ථිකයට සිදුවන පාඩුව
ආදායම් බදු ප්‍රතිපත්තියේ බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධනූෂ පතිරණ පෙන්වා දුන්නේ ඉහළ ආදායම් ලබන වෘත්තිකයන් මත පැටවී ඇති බදු බර හේතුවෙන් බුද්ධි ගලනය තවදුරටත් උග්‍ර වී ඇති බවයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් සහ වෙනත් විශේෂඥ වෘත්තිකයන් රට හැර යාම හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්රවල පුරප්පාඩු සහ සේවා හිඟයන් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන්ගේ හිඟය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිකයන්ගේ හිඟය ද මෙහි ප්‍රතිඵල ලෙස ඔහු පෙන්වා දුන්නේය.
මෙහිදී ඔහු මතු කළ වැදගත් තර්කය වූයේ රජය බදු ආදායම ඉහළ නැංවීම සඳහා අනුගමනය කරන ප්‍රතිපත්තියෙන් කෙටි කාලීනව ආදායමක් උපයාගත හැකි වුවත්, ඒ හේතුවෙන් ආර්ථිකයට අහිමි වන මානව සම්පතේ වටිනාකම ඊට වඩා විශාල විය හැකි බවයි. ඔහුගේ අදහස අනුව, බදු ආදායමෙන් උපයාගන්නා මුදල පමණක් ගණනය කිරීම ප්‍රමාණවත් නොවේ. එම බදු ප්‍රතිපත්තිය නිසා රටට අහිමි වන දක්ෂතා, වෘත්තීය සේවා සහ ආර්ථික ඵලදායිතාව පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය.
මිල්කෝ ආයතනයට රුපියල් බිලියන 3ක් – නමුත් කාර්මික පරිවර්තනය කෝ?
නිෂ්පාදන ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධනූෂ පතිරණ සඳහන් කළේ මිල්කෝ ආයතනය වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වෙන් කිරීම සාධනීය පියවරක් බවයි. එහෙත් ශ්‍රී ලංකාවේ සමස්ත කාර්මික හා නිෂ්පාදන පද්ධතියේ පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳීම සඳහා ප්‍රමාණවත් වැඩපිළිවෙළක් අයවැය තුළ දක්නට නොලැබෙන බව ඔහුගේ විවේචනය විය.
මෙහිදී ඔහු ජාත්‍යන්තරව භාවිත වන Economic Complexity Index හෙවත් ආර්ථික සංකීර්ණතා දර්ශකය පිළිබඳව ද අවධානය යොමු කළේය. ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය තුළ නව තාක්ෂණය, ඉහළ අගය එකතු කළ නිෂ්පාදන සහ අපනයන විවිධාංගීකරණය වැනි ක්ෂේත්රවල සැලකිය යුතු පරිවර්තනයක් සිදුවී නොමැත.
ඊට අමතරව ලංකාවේ කාර්මික පද්ධතිය වෙනස් කරන්නේ නැත්නම් ඒකේ, දැන් කාර්මික පද්ධතියක් නැහැ. අපි අපි ගත්තොත් එහෙම දැන් ඒක අපිට කියන්න පුළුවන් ඒක බලන ඉන්ඩෙක්ස් එකක් තියෙනවා, ඉකොනොමික් කොම්ප්ලෙක්සිටි ඉන්ඩෙක්ස් කියලා. ඒක තිබ්බේ ඔය හදන කාලේ, ඉන්ඩෙක්ස් එක හදපු කාලේ අගය තමයි අවුරුදු 25ක ඉඳන්, දැනුත් තියෙන්නේ. එතකොට මේ තියෙන වෙළඳපොළ ආර්ථික ක්‍රමය ඇතුළේ ආර්ථික ආකෘතිය පල් වෙලා කියන එක තමයි ඒකෙන් පෙන්වන්නේ.
වසර ගණනාවක් තිස්සේ ආර්ථික ව්‍යුහය එකම තත්ත්වයක පවතින බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය දිගුකාලීන නිෂ්පාදන උපායමාර්ගයක් අයවැයෙන් ප්‍රමාණවත් ලෙස ඉදිරිපත් කර නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය. එවැනි පරිවර්තනයක් නොමැති ආර්ථිකයක ශ්‍රම ඵලදායිතාව ඉහළ නැංවීම, නව රැකියා බිහි කිරීම සහ ජනතාවගේ ආදායම් මට්ටම් වර්ධනය කිරීම අභියෝගයක් වනු ඇත.
රාජ්‍ය සේවයට 110,000ක් බඳවා ගැනීමෙන් පමණක් ප්රශ්නය විසඳේද?
අයවැයෙන් රාජ්‍ය සේවයට අලුතින් 110,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට යෝජනා කර තිබීම පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය. පුරප්පාඩු පිරවීම සහ රාජ්‍ය සේවයේ අවශ්‍යතා සපුරාලීම වැදගත් වුවත්, එම බඳවා ගැනීම් සිදුකරන්නේ කුමන ක්ෂේත්රවලටද, එමඟින් රටේ නිෂ්පාදන ඵලදායිතාවට ලැබෙන දායකත්වය කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් සංඛ්‍යාව ඉහළ නැංවීම පමණක් ආර්ථික වර්ධනයක් ඇති නොකරන බවත්, ඒවා රටේ සැබෑ මානව සම්පත් අවශ්‍යතා සහ සංවර්ධන ඉලක්ක සමඟ සම්බන්ධ විය යුතු බවත් ඔහුගේ අදහස විය.
අයවැයේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ කෙසේද?
ධනූෂ පතිරණගේ සමස්ත විග්‍රහයෙන් මතු වූ ප්‍රධාන කාරණය වන්නේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ අයවැය හිඟය පාලනය කිරීම පමණක් ආර්ථික සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ නොවන බවයි.
ආර්ථිකයක සැබෑ සාර්ථකත්වය තීරණය වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රවේශය පහසු වීම, දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපනය තහවුරු වීම, වෘත්තිකයන් රට තුළ රඳවා ගැනීම සහ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් වීම වැනි කරුණු මත බව ඔහුගේ විග්‍රහයෙන් පැහැදිලි වේ.
SATAHAN RADIO සම්පූර්ණ වැඩසටහන මෙතනින් https://www.youtube.com/watch?v=6MFpPYTRIwU&t=1215s
