– ධනූෂ පතිරණ
රජයට හිතවත් පාර්ශ්ව සහ නව ලිබරල්වාදී ආර්ථික විශ්ලේෂකයින් 2027 අයවැය නිවැරදි දිශාවට තැබූ පියවරක් ලෙස පුළුල් ලෙස හුවා දක්වමින් සිටී. ඔවුන් එය මහජනතාවගේ ජීවන වියදම් පිළිබඳ ගැටලු සහ ව්‍යාපාරික ආයෝජන අපේක්ෂාවන් අතර සමතුලිතතාවයක් ඇති කරන බව ප්‍රකාශ කරයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මහාපරිමාන සමාගම් අංශයට ලබා දී ඇති දැවැන්ත බදු සහන තවදුරටත් භුක්ති විඳීමට 2027 අයවැය ඉඩ සලසා ඇත. මෙලෙස ගොඩනැගෙන ප්‍රධාන ධාරාවේ මතවාදය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පමනක් ලබා දී ඇති වක්‍ර බදු සහන හරහා සාමාන්‍ය ජනතාවට විසික් කළ සොච්චම් සහන අතිශයෝක්තියෙන් වර්ණනා කරයි. රාජ්‍ය සේවකයින් සඳහා නාමික වැටුප් වැඩිවීම් සමඟින් හාල්මැස්සන්, කරවල සහ අභ්‍යාස පොත් මත පනවා ඇති බදු අඩු කිරීමෙන් ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට හැකි යැයි සිතීම අභාග්‍යසම්පන්න හිතලුවකි. වසර ගනනාවක් මුලුල්ලේ පවත්වාගෙන ආ අත්‍යවශ්‍ය වියදම් සඳහා සිදු කර ඇති දැඩි කප්පාදු ආපසු හැරවීම ආදී වැදගත් කිසිවක් 2027 අයවැය යෝජනා මගින් සිදු නොවනු ඇත.
අයවැය පදනම්ව තිබෙන නව ලිබරල් රාමුව මගින් එහි සැබෑ භයානක මුහුණුවර සඟවයි. නිදසුනක් ලෙස, සමස්ත උද්ධමනකාරී වක්‍ර බදු රුපියල් බිලියන 170 කින් ඉහළ යාමට නියමිත අතර ඍජු බදු ආදායමේ වැඩිවීම රුපියල් බිලියන 30 ක් වැනි අඩු මට්ටමක පවතී. මේ හරහා මෙම සංරචක දෙක අතර අනුපාතය මෙම වසරේ පවතින 78% සිට 80% ක් දක්වා තවදුරටත් නරක අතට හැරේ. සහනාධාර සහ පැවරීම් (Subsidies and transfers ) රුපියල් බිලියන 100 කින් (රුපියල් බිලියන 1,572 සිට රුපියල් බිලියන 1,472 දක්වා) අමානුෂික ලෙස කප්පාදු කර ඇත්තේ සමස්ත දරිද්‍රතාවය 16% ක් සහ පාසල් දරුවන් අතර මන්දපෝෂණය 25%ක් (UNICEF) තරම් ඉහළ මට්ටමක පවතින අතරවාරයේය. අනෙක් අතට, මුදල් අමාත්‍යාංශයේ බදු පිරිවැය වාර්තාවට අනුව 2024/25 වසරේදී රුපියල් බිලියන 190 ක දැවැන්ත පාඩුවක් රජයට සිදු කළ මහාපරිමාන සමාගම් වලට ප්‍රධානය කර ඇති ආදායම් බදු විරාම (tax holidays) කිසිදු බාධාවකින් තොරව තවදුරටත් ක්‍රියාත්මක වේ. මෙවන් පසුබිමක 2027 අයවැයෙන් අපේක්ෂිත බදු ආදායම වැඩිවීමේ බරින් 85% ක් සෘජුවම පැටවෙන්නේ සාමාන්‍ය මහජනතාවගේ උරමතටය.
ප්රතිගාමී බදු ක්‍රමය හරහා සැබෑ ආර්ථිකයට විලංගු දැමීම
අධික වක්‍ර බදු සහ ඉහළ යන ජීවන වියදමේ බර නිෂ්පාදන ද සීමා කරයි. ඉහළ යන ජීවන වියදම වැටුප් වැඩිවීම් පිළිබඳ ඉල්ලීම්වලට හේතු වන අතර, එමගින් සැබෑ වැටුප් ඉහළ නැංවීමක් නැතිව නිෂ්පාදන පිරිවැය පමණක් ඉහළ දමයි. මෙය දේශීය හා ගෝලීය වෙළඳපොළවල දේශීය නිෂ්පාදකයින්ගේ තරඟකාරී ශක්තිය අඩු කරමින් නිෂ්පාදන ආයෝජන රටින් පිටව යාම වේගවත් කරන අතර උද්ධමනයෙන් ආරක්ෂා වීම සඳහා සමපේක්ෂණ (speculative) සහ විදේශ විනිමය රටින් පිටතට ඇදී යන ප්රාග්ධනය; දේපළ වෙළඳාම් වෙත සහ නීති විරෝධී ප්‍රාග්ධන ගලායාම් වෙත ආයෝජකයින් යොමුවේ.
අනෙක් අතට, සමාගම් වල ආදායම් බදු සහන අහෝසි කිරීමෙන් සහ දැඩි ලෙස බදු අයකර ගැනීම් (tax compliance) ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ ඍජු සහ වක්‍ර බදු අනුපාතයක් වෙත යොමු විය හැකිය. ඒ හරහා ජීවන වියදම ලිහිල් කිරීමටත්, ඉහල යන උද්ධමනය පාලනය කිරීමටත්, ජනතාව දරිද්‍රතාවයෙන් සහ ළමා මන්දපෝෂණයෙන් මුදා ගැනීමටත් හැකි වනු ඇත. ඒ අතරම එමගින් මූල්‍ය ස්ථාවරත්වයත් වැඩිදියුණු වේ. (බදු අනුකූලතාව බලාත්මක කිරීමෙන් සහ බදු එකතු කිරීමේ ආයතනවල තාක්ෂණික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් පමණක් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.9% කින් ඉහළ නැංවිය හැකි බව මෑතදී කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) අධ්‍යයනයකින් පෙන්වා දී ඇත). ඊට සමගාමීව එමගින් පොලී අනුපාත සහ රජයේ ණය සේවාකරණ පිරිවැය පහත හෙළන අතරම ආයෝජන උත්තේජනය කරනු ඇත. එමගින් සමස්ත ආදායම් ඉහළ යාම හරහා ඍජු බදු ආදායම තවදුරටත් වැඩි කරන යහපත් ආර්ථික චක්‍රයක් නිර්මාණය වේ. එහෙත්, වත්මන් බදු ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම යොමු වී ඇත්තේ කර්මාන්ත පුළුල් කිරීම වෙනුවට වත්කම් සහ අතිරික්තයන් විදේශයන්හි හෝ දේපළ වෙළඳාම්වල ආයෝජනය කිරීමට කැමති සමපේක්ෂණ (speculative) සහ වාණිජ ප්රාග්ධනය වෙතය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම බදු ක්‍රමවේදය ආර්ථික පසුගාමීත්වය තහවුරු කරයි. ආර්ථික සංකීර්ණතා දර්ශකය (Economic Complexity Index) ආරම්භ වූ 1990 දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව දිගටම එම දර්ශකයේ 83 වන ස්ථානයේ රැදෙමින් ඍණ අගයක (-0.045) සිරවී තිබීම මෙය මනාව පැහැදිලි කරයි. 2027 අයවැය මගින් ආර්ථිකයේ මෙම ව්‍යුහාත්මක එකතැන පල්වීම අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත.
අතිශයෝක්තියට නැංවූ අයවැය යෝජනා සහ සිතාමතාම මුදල් වියදම් නොකර සිටීම
2026 අයවැයෙහි වියදම් යෝජනා සහ මෙම වසරේ මේ දක්වා රජය සැබෑ ලෙසම සිදු කර ඇති වියදම් අතර පවතින කැපී පෙනෙන පරතරය පරීක්ෂා කිරීමේදී පැහැදිලි කූට උපායමාර්ගයක් අනාවරනය වේ. මහාමාර්ග සහ අධිවේගී මාර්ග හැර අනෙක් අත්‍යවශ්‍ය මහජන ආයෝජන හිතාමතාම මුදල් වියදම් නොකර සිටීම හරහා අඩපණ කිරීම වත්මන් පරිපාලනයේ සුවිශේෂී උපාය මාර්ගය බවට පත්ව ඇත. අයවැය කතාවලදී අතිශයෝක්තියට නැංවූ වියදම් ඉදිරිපත් කරමින් මහජන කෝපය සමනය කිරීම අතරවාරයේ කෘත්‍රිම අයවැය අතිරික්තයන් නිර්මාණය කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන වියදම් නොකර තබා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් නියෝජනය වන ගෝලීය සමපේක්ෂණ ප්‍රාග්ධන යේ (speculative capital) ඉලක්ක සපුරාලීම මෙහි අරමුණයි. ලෝක බැංකුවට අනුව 2026 වසරේ මැද භාගය වන විට දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් වෙන් කළ අරමුදල්වලින් වත්මන් රජය භාවිත කර ඇත්තේ 8% ක් පමණක් වීමෙන් මෙම වංචනික උපාය මාර්ගය මනාව හෙළිදරව් වේ. ආදායම් ඉලක්ක ඉක්මවා යාමෙන් සහ යෝජිත රුපියල් ට්‍රිලියන 7 ක අයවැය ප්‍රතිපාදනවලින් දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 1 ක් වියදම් නොකර සිටීමෙන් රජය විසින් නොසලකා හරින ලද පොදු සේවාවන් මත පදනම්ව රුපියල් බිලියන 22 ක අතිරික්තයක් නිර්මාණය කර ඇත.
2027 වසරේදී අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ පැහැදිලි පෙරදසුනක් 2026 වසරේ පළමු භාගය තුළ දක්නට ලැබේ. 2026 අයවැය මගින් රජය සෞඛ්‍ය සේවය (රුපියල් බිලියන 120), අධ්‍යාපනය (රුපියල් බිලියන 99), ජල සම්පාදන හා සනීපාරක්ෂාව (රුපියල් බිලියන 95), පොදු ප්‍රවාහනය (රුපියල් බිලියන 67) සහ නිවාස (රුපියල් බිලියන 44) සඳහා රුපියල් බිලියන 425 ක ඒකාබද්ධ මහජන ආයෝජනයක් වෙන් කර තිබුණද, වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව වාර්තාව (Mid-Year Fiscal Position Report) පෙන්වා දෙන්නේ පළමු මාස හය තුළ සැබෑ ලෙසම වැය කර ඇත්තේ ඉන් රුපියල් බිලියන 55 ක් පමණක් බවයි. රට පුරා ළමා මන්දපෝෂණය අඛණ්ඩව ඉහළ යමින් තිබියදී පවා පාසල් දරුවන්ට ආහාර ලබා දීම සඳහා වෙන් කළ රුපියල් බිලියන 33.6 ක මුදලින් (2027 දී මෙය රුපියල් බිලියන 33.5 දක්වා අඩු කර ඇත) 2026 පළමු භාගයේදී භාවිත කර ඇත්තේ රුපියල් බිලියන 12.7 ක් පමණි. එබැවින්, 2027 අයවැයෙහි සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා වන නාමික වැඩිවීම් ක්‍රියාත්මක නොවන හිස් වාචාල කතා පමණක් බවට පත්වීම වැළැක්විය නොහැකිය.
ගෝලීය මූල්‍ය යටත්විජිතවාදය සමඟ ශ්‍රී ලංකාව යළි ගැටගැසීම
වත්මන් පාලන තන්ත්රයේ මූලික අරමුණ වන්නේ ජාත්‍යන්තර සමපේක්ෂණ මූල්‍ය වෙළඳපොළ සතුටු කිරීම සඳහා අයවැය අතිරික්තයන් නිර්මාණය කිරීම සහ IMF කොන්දේසි යටතේ නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) නිකුත් කිරීමේ හැකියාව යළි ලබා ගැනීමයි. ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ පැවැති පස්වන සහ හයවන IMF සමාලෝචන මගින් 2027 සහ 2028 වසර සඳහා ඩොලර් බිලියන 3 ක නව ISB ණය ගැනීම් පැහැදිලිවම ප්රක්ෂේපණය කර ඇත. රජයේ වියදම් කප්පාදු කිරීම සහ ප්රතිගාමී බදු ඉහළ දැමීම යන උපාය මාර්ග සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය ප්රාග්ධනය විසින් ඉල්ලා සිටින අවදානම් වාරික (risk premiums) අඩු කිරීම සඳහා පමණි.
2008/09 බටහිර සිදුවූ මූල්‍ය බිඳවැටීමෙන් පසුව ගෝලීය සමපේක්ෂණ ප්රාග්ධනය ඉහළ පොලී අනුපාත යටතේ තම අතිරික්ත ප්රාග්ධනය නැවත ආයෝජනය කරන කසළ අංගනයක් ලෙසට ගෝලීය දකුණ (Global South) ඉලක්ක කර ගත්තේය. එහිදී විචක්ෂණශීලී ණය දීමේ පිළිවෙත් නොසලකා හරිමින් සහ උල්ලංඝනය කරමින්, තුන්වන ලෝක රජයන්ට ණය පොම්ප කිරීම ආරම්භ කල අතර මෙම ණය බුබුලු පුපුරා ගිය විට අවසානයේ සිදුවන්නේ තමන්ට වාසිදායක ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් හරහා ණය ආපසු අය කර ගැනීමේ කූටෝපාය IMF වෙත පැවරීමයි. 2024 දී ශ්‍රී ලංකාව අත්සන් කළ ගිවිසුම මීට කදිම උදාහරණයකි. මෙය ගෝලීය දකුණ මූල්‍යමය වශයෙන් යටත්විජිතකරණය කිරීමේ නව රැල්ල සනිටුහන් කරයි. 2022 ආර්ථික බිඳවැටීම හේතුවෙන් පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව මෙම චක්‍රයෙන් වෙන් වී සිටියද අද IMF හි ප්‍රධාන මෙහෙවර වන්නේ අතිරික්තයන් උරා ගැනීමේ (surplus extraction) සාධකයක් ලෙස ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් ගෝලීය මූල්‍ය වෙළඳපොළට යළි ඒකාබද්ධ කිරීමයි. විණිමය පාලන ප්‍රතිපත්ති වලට රිජුව විරෝධය පාන්නේ ඒවා ක්‍රියාත්මක කලහොත් විදේශ ණය වෙළඳපොලේ ආධිපත්යෙන් මිදුනු කලාපයක් බවට ගෝලීය දකුන පත්වන බැවිනි. ගෝලීය සමපේක්ශන ප්රාග්ධනයේ ක්‍රියාකාරිත්වයට එය මරු පහරක් වන බැවිනි.
විදෙස් ප්රාග්ධනයට සේවය කිරීම සඳහා රට තුළ මර්දනය දියත් කිරීම
නිෂ්පාදනශීලී නොවන අධි-පාරිභෝජනවාදී ව්‍යාපාරික ප්‍රභූ පැලැන්තියක් සමඟ රාජ්‍ය පාලන තන්ත්රය පවත්වන සන්ධානය හේතුවෙන් විනිමය පාලනයන් පැනවීමට නොහැකිවී ඇති අතර අධි පාරිභෝජනවාදය හරහා විනාශ වන ජාතික ඉතුරුම් ඉහළ නැංවීම සහ නීති විරෝධී ප්‍රාග්ධන පිටතට ගලායාම නැවැත්වීමට රජයට නොහැකි වී තිබේ. මේ නිසා ISB හරහා සමපේක්ෂණ විදේශ මූල්‍යකරණයට යොමු නොවී ගෙවුම් ශේෂ (BoP) අර්බුදය විසඳා ගැනීමට රජය අසමත් වී ඇත (2026 පළමු මාස නවය තුළ ජංගම ගිණුමේ හිඟය ඩොලර් මිලියන 400 ඉක්මවා වාර්තා වීමෙන් ගෙවුම් ශේෂ ගැටලු ඉහළ යමින් පවතින බව පෙන්නුම් කෙරේ). අවසාන වශයෙන්, අප අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගය (NPP) පාලන තන්ත්රය විසින් අතිශය මර්දනකාරී ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත’ (PSTA) සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ (POCA) හිතාමතාම හඳුන්වා දී ඇත්තේ දරාගත නොහැකි ලෙස ඉහළ යන ජීවන වියදමට සහ බිඳවැටෙමින් පවතින අත්‍යවශ්‍ය සේවාවන්ට එරෙහිව අනාගතයේදී ඇති විය හැකි මහජන විරෝධතා මැඩපැවැත්වා විරුද්ධ හඬවල් නිහඬ කොට දේශීය හා ගෝලීය සමපේක්ෂණ ප්රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට බවයි.

ආර්ථික විශ්ලේෂක- ධනූෂ පතිරණ
