ශිරන්ති නෝනා වේදිකාවට ආවේ නෑ, මහින්දට බත් තම්බ තම්බ හිටියා! මහින්ද රාජපක්ෂ “අමු සිංහල විදිහට” කන කෑම වේල ගැන නීතිඥ සංජීව වීරවික්‍රම සිනහ ගන්වමින් කියයි!

ශිරන්ති රාජපක්ෂ මහත්මිය දේශපාලන වේදිකාවට නොපැමිණ ජීවිත කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතාට බත් තම්බමින් සහ ඔහු කැමති ආකාරයට කෑම සාදා දෙමින් සිටි බවත් මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තිබූ තියුණු බුද්ධිය වත්මන් ආණ්ඩුවේ අයට අල්ප මාත්‍රයක්වත් නොමැති බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසනවා.

හිටපු නායකයින්ගේ පෞද්ගලික ජීවිතය සහ බුද්ධි මට්ටම වත්මන් පාලකයින් සමඟ සංසන්දනය කරමින් රැස්ව සිටි පිරිස සිනහ ගන්වන ආකාරයෙන් ඔහු මෙම ප්‍රකාශ සිදු කළා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය හෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය කිසිදා දේශපාලන වේදිකාවලට නැග කතා පවත්වා නොමැති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා එහිදී පෙන්වා දුන්නා.

ඒ වෙනුවට ඇය ජීවිත කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතාට බත් තම්බා දීම, ඔහු කන ආකාරයට ආහාර පිළියෙල කර දීම සහ තේ සාදා දීම සිදු කළ බව ඔහු හාස්‍යයෙන් යුතුව සඳහන් කළා.

එමෙන්ම තමන් තම පියාට දක්වන ආදරයටත් වඩා වැඩි ආදරයක් මහින්ද රාජපක්ෂ මහතාට දක්වන බවත් ඔහු සුවිශේෂී චරිතයක් බවත් සංජීව වීරවික්‍රම මහතා පැවසුවා.

තමන්ද විජිත නමැත්තෙකු සමඟ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව ආහාර ගෙන ඇති බව සිහිපත් කළ ඔහු, හිටපු ජනාධිපතිවරයා “අමු සිංහල විදිහට” ආහාර ගන්නා අයෙකු බවද පවසනවා.

එමෙන්ම පොළොන්නරුවේ “ලොකු බත් ගෙඩි” යනුවෙන් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් හාස්‍යජනක ලෙස කියා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා සුදු බත් අනුභව නොකරන බවත් , ලොකු රතු බත් පිඟානක් සමඟ පරිප්පු හොද්දක්, ලොකු අල කෑලි සහිත අල කිරි හොද්දක්, පොල් සම්බෝලයක් සහ ටී.වී.පී. ව්‍යංජනයක් ආහාරයට ගන්නා බවයි.

දිනක් යෝෂිත රාජපක්ෂ මහතා පැමිණ තමන්ව මහින්ද රාජපක්ෂ මහතා වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේදී තමන් නඩුවක් පිළිබඳව ඔහුට පැහැදිලි කළ ආකාරයද නීතිඥ සංජීව වීරවික්‍රම මහතා මෙහිදි සඳහන් කළා.

ඔහු පවසන්නෙ, නඩුව පැහැදිලි කරන විටම එය තේරුම් ගැනීමට තරම් මහින්ද රාජපක්ෂ මහතාට සුවිශේෂී බුද්ධියක් තිබූ බවයි.

ප්‍රංශය, එංගලන්තය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන් පවා පැමිණ යුද්ධය නවත්වන ලෙස බලපෑම් කිරීමෙදි ඊට යටත් නොවී ප්‍රභාකරන් පරාජය කිරීමට හැකි වූයේ මහින්ද රාජපක්ෂ මහතා සතු වූ එම බුද්ධිමත්භාවය නිසා බව ඔහු අවධාරණය කළා.

අනාගතයේදී පොළොන්නරුව ගමෙන් මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් බිහි කිරීමට නම් තම දරුවන්ගේ මොළය සකසන ලෙස ඔහු එහි සිටි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර තමන් ඉගෙන ගත් විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද එවැනිම තියුණු බුද්ධියක් තිබෙන බව සංජීව වීරවික්‍රම මහතා සඳහන් කලා.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව පිලිබඳවද අදහස් දක්වමින් ඔහු, “මේ ආණ්ඩුවේ නම් එහෙම මොළ තියෙනවද?” යනුවෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කරමින්, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තිබූ මොළය “ගෑවිලා යන මොළයක්වත්” වත්මන් ආණ්ඩුවට නොමැති බව පැවසුවා.

Author

Leave a Reply

Related Posts