වරෙන්තුවට උසාවි ගෙනා කස්සප හෙට දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලය වෙරළ තීරයේ නීත්‍යනුකූල අවසරයකින් තොරව බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට නොවැම්බර් (11) දින ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටි බලංගොඩ කස්සප හිමියන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද (නොවැම්බර් 16) නියෝග කර ඇත.

නොවැම්බර් 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් කස්සප හිමිට වරෙන්තු නිකුත් කර තිබු අතර එම වරෙන්තු සම්බන්ධයෙන් අද දින බන්ධනාගාරය මගින් කස්සප හිමි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් නීතිඥ සංගමය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික සහ සෙසු නීතිඥවරුන් නියෝජනය කරමින් නීතිඥවරු තිදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය අධිකරණයට අපහසයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කස්සප හිමියන්ට ඇප ලබා දෙන අවස්ථාවේ දී කොන්දේසි දෙකක් පනවා තිබු අතර ඉන් එකක් වන්නේ සියලුම නඩු සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් හා නඩුව සම්බන්ධයෙන් මාධ්‍යයට කිසිදු අදහසක් පළ නොකළ යුතු බවත්ය. නමුත් බලන්ගොඩ කස්සප හිමි මෙම කොන්දේසි දෙක උල්ලංඝනය කර ඇති බව එහිදි කරුණු දක්වමින් නීතිඥවරු සඳහන් කළහ. නඩුව මෙහෙයවන වරාය පොලිස් භාර නිලධාරියාද හිමිනමට ඇප ලබා දීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම සඳහා නඩුව හෙට නැවත කැඳවන ලෙසත්, හෙට දින (17) දක්වා කස්සප හිමි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළේය.

Author

Leave a Reply

Related Posts