බංග්ලාදේශයේ ප්‍රධාන ඇඟලුම් කර්මාන්තශාලා කිහිපයක් වැඩවර්ජන හේතුවෙන් වසා දැමේ

බංග්ලාදේශයේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන කලාප කිහිපයක කර්මාන්තශාලා රැසක් සේවක වැඩවර්ජන හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉහළ අවම වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා සේවකයින් ආරම්භ කර ඇති විරෝධතා හේතුවෙන් සාවර්, අෂුලියා සහ ගාසිපූර් යන ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන කලාපවල කර්මාන්තශාලා ඇතුළු රට පුරා නිෂ්පාදන ස්ථාන 150කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශයේ ආර්ථිකයට ඇඟලුම් කර්මාන්තය විශාල දායකත්වයක් ලබාදෙන අතර, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 40කට ආසන්න අපනයන ආදායමක් එමගින් උපයා ගනු ලබන බවට සඳහන් වේ. එය රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක පමණ ප්‍රතිශතයක් ද නියෝජනය කරයි.

කෙසේ වෙතත්, දැනට බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයෙකු සඳහා නියම කර ඇති අවම මාසික වැටුප බංග්ලාදේශ ටකා 12,500ක් වන අතර, එය ජීවන වියදම් ඉහළ යාම හමුවේ ප්‍රමාණවත් නොවන බව පවසමින් සේවකයින් සිය අවම මාසික වැටුප ටකා 30,000ක් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියි.

පසුගිය ඉරිදා උදෑසන ගාසිපූර් ප්‍රදේශයේ ඩකා-ටැන්ගයිල් ප්‍රධාන මාර්ගයට රැස්වූ සේවකයින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස පැයකට ආසන්න කාලයක් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, පසුව පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කර ඇත.

නිෂ්පාදන කටයුතු අඩාල වන අවස්ථාවලදී කර්මාන්තශාලා හිමිකරුවන්ට මෙහෙයුම් අත්හිටුවීමට සහ සේවක වැටුප් ගෙවීම නතර කිරීමට අවසර ලබාදෙන ‘වැඩ නොමැති නම් වැටුප් ද නොමැත’ යන නීතිමය ප්‍රතිපාදනය ද මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බව සඳහන් වේ.

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තය තුළ සේවකයින් මිලියන හතරකට ආසන්න පිරිසක් රැකියාවල නිරත වන අතර, H&M, Primark සහ Zara වැනි ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම සඳහා ද එරටින් ඇඟලුම් නිෂ්පාදනය කරනු ලබයි.

චීනයට පසුව ලොව දෙවන විශාලතම නිමි ඇඟලුම් අපනයනකරුවා වන බංග්ලාදේශයේ පවතින මෙම කම්කරු නොසන්සුන්තාව තවදුරටත් දිග්ගැස්සුණහොත් ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට ද එහි බලපෑම් එල්ල විය හැකි බවට අවධානය යොමුව තිබේ.

කෙසේ වෙතත්, කර්මාන්තශාලා හිමිකරුවන් සහ ජාත්‍යන්තර වෙළෙඳ සමාගම් තරගකාරී මිල ගණන් යටතේ නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීමෙන් ලාභ උපයන අතරතුර සේවකයින් එහි පිරිවැය දරාගෙන සිටින බවට විවේචන එල්ල වී ඇත.

මේ අතර, සේවකයින්ගේ අවම වැටුප සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බංග්ලාදේශ රජය පසුගිය නොවැම්බර් 01 වැනිදා අවම වැටුප් මණ්ඩලයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ දිස්ත්‍රික් විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් එම මණ්ඩලය සිය පළමු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ නව වැටුප් සංශෝධන නිර්දේශ නොවැම්බර් මාසය අවසන් වීමට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, සංශෝධිත නව වැටුප් ක්‍රමය දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

Author

Leave a Reply

Related Posts