සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ගොනු කර තිබෙන චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කළ බව අල්ලස් කොමිසම අද (16) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගමට හමුවේ දැනුම්දී ඇත.
මෝසමක් ගොනු කරමින් අල්ලස් කොමිසම විසින් අද මේ බව අධිකරණයට දන්වා සිටි අතර මෙම සැකකරුගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට ඉදිරි පියවර ගන්නා බව පෙර නඩු දිනයේ දී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබුණි.
මෙම සිද්ධියට අදාල සැකකරුවකු වන නීතීඥ රඛිත රාජපක්ෂගේ සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් ඉකුත් දා මහාධිකරණය විසින් තහනම් කර තිබුණ අතර තවද මෙම සිද්ධියට අදාල තවත් සැකකරුවකු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2 ක් තහනම් කිරීමට කටයුතු කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට මීට පෙර දන්වා තිබුණි.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්රාත්වරයා දෙසැම්බර් 8 වන දින නඩුව යළි කැඳවිමට නියෝග කර ඇත. 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්රකාරව මෙම දේපල අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
