හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට ඔහුගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සකස් කළ නව හෙල්ල පහක කට්ටලයක් ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ලබාදී තිබෙනවා.
අදාළ හෙල්ල කට්ටලය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් රුමේෂ් තරංගට අද (16) දිනයේදී පිරිනමා තිබුණා.
රුමේෂ් තරංගගේ ක්‍රීඩා අවශ්‍යතා සහ ඔහුගේ හෙල්ල විසි කිරීමේ තාක්ෂණයට ගැළපෙනම ආකාරයෙන් මෙම හෙල්ල පහක කට්ටලය නෝර්ඩික් සමාගමෙන් ඇණවුම් කර තිබෙනවා.
එලෙස ඇණවුම් කළ හෙල්ල නිෂ්පාදනය කර අවසන් කිරීමට යම් කාලයක් ගතවූ බව සඳහන් කළ ක්‍රීඩා අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය මුදල ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ගෙවා අදාළ කට්ටලය රුමේෂ් තරංගට ලබාදීමට කටයුතු කළ බව පැවසුවා.
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියට සහභාගී වී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ගුවන් ගමන අතරතුර රුමේෂ් තරංග සතු තරග සඳහා භාවිත කළ හෙල්ල කිහිපයකට දැඩි හානි සිදුව තිබුණා.
එම සිදුවීමෙන් පසුව ඔහුගේ ඉදිරි පුහුණුවීම් හා ජාත්‍යන්තර තරග සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වූ අතර ඒ අනුව නව හෙල්ල කට්ටලය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
රුමේෂ් තරංගගේ හෙල්ල ගුවන් ගමනේදී හානිවූ අවස්ථාවේදී හානි වූ හෙල්ල වෙනුවට රජයේ වියදමින් නව හෙල්ල කට්ටලයක් ලබාදෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණා.
අදාළ ගුවන් සේවයෙන් වන්දි ලබාගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබුණා.
එම සිදුවීමෙන් පසුව රුමේෂ් තරංග තමන්ට ලැබුණු මහජන සහයෝගය අගය කරමින් එවැනි සහයෝගයක් ක්‍රීඩාව කරගෙන යාමට දුෂ්කරතා විඳින අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා.
