ජෙන්සන් හුවාං යළි Nvidia වෙත ගෙන ඒමට එලෝන් මස්ක් ඇතුළු පිරිසකගෙන් විශේෂ ඉල්ලීමක්

එන්වීඩියා (Nvidia) සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං යළි එම ධුරයට පත්කරන ලෙස ඉල්ලමින් ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් රැසක් සහ එලෝන් මස්ක් ඇතුළු පිරිසක් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, ජෙන්සන් හුවාං යළි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කරන ලෙස ඉල්ලා අත්සන් 165,000කට අධික සංඛ්‍යාවක් සහිත විවෘත ලිපියක් ද ඉදිරිපත් කර ඇත. ස්වාධීන පරීක්ෂණයක් මගින් අදාළ සිදුවීම් පිළිබඳ කරුණු තහවුරු කරන තෙක් ඔහු යළි එම ධුරයට පත්කරන ලෙස එම ලිපිය මගින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

එන්වීඩියා සමාගමේ සේවකයින් 7,500කට අධික පිරිසක් ද ජෙන්සන් හුවාං යළි ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්කරන ලෙස ඉදිරිපත් කළ විවෘත ලිපියට අත්සන් තබා තිබීම විශේෂත්වයකි. එය සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් සියයට 18කට ආසන්න ප්‍රතිශතයක් බව වාර්තා වේ.

එලෝන් මස්ක්ට අමතරව, Epic Games සමාගමේ නිර්මාතෘ ටිම් ස්වීනි, Y Combinator සමාගමේ සභාපති ගැරී ටෑන් සහ Uber සමාගමේ සම-නිර්මාතෘ ට්‍රැවිස් කලනික් ඇතුළු තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් රැසක් ද මෙම ඉල්ලීමට සහාය පළකර තිබේ.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය පරිගණක චිප් නිෂ්පාදනයේ ප්‍රමුඛ සමාගමක් වන එන්වීඩියා හි වසර 33ක ප්‍රධාන විධායක නිලධාරී ධුර කාලය අවසන් කරමින් ජෙන්සන් හුවාං පසුගිය බ්‍රහස්පතින්දා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර තිබුණි.

ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ විවාහයෙන් පිටත සබඳතා දෙකක් පැවැත්වූ බවට පළ වූ වාර්තා වන අතර, ඉන් එක් සබඳතාවක් චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන කාන්තාවක සමඟ පැවති බවට ද චෝදනා එල්ල වී තිබේ. අනෙක් සබඳතාව සමාගමේ සේවිකාවක සමඟ පැවති බවට ද වාර්තා පළ වී ඇත.

මේ අතර, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ හුවාං සිය යළි පැමිණීම සම්බන්ධයෙන් ඔහුට සමීප පුද්ගලයින් සමඟ සාකච්ඡා කර ඇති බවයි. එමෙන්ම, සිලිකන් නිම්නයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් එක්රැස් කරමින් ඔහු යළි එන්වීඩියා සමාගමේ ප්‍රධානියා බවට පත්කිරීම සඳහා බලපෑම් කණ්ඩායමක් සකස් කිරීමට ද කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.

එම උත්සාහයට ධවල මන්දිරයේ සහාය ලබාගැනීමට ද අදාළ පිරිස අපේක්ෂා කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර ඇත්තේ එන්වීඩියා සමාගමේ මීළඟ ප්‍රධාන විධායක නිලධාරියා සමාගමෙන් පිටත පුද්ගලයෙකු අතරින් තෝරාගත යුතු බවයි. සමාගම තුළ සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බව ද ඔහු අවධාරණය කර තිබේ.

එමෙන්ම, එන්වීඩියා සමාගම සිය නවීනතම කෘත්‍රිම බුද්ධි චිප් චීනයට ළඟාවීමට දැනුවත්ව ඉඩ ලබාදුන්නේ ද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස ද බෙසන්ට් ඉල්ලා ඇත. ඔහු පෙන්වා දෙන්නේ චීනයට එරෙහිව පනවා ඇති අමෙරිකානු අපනයන සීමාවන්ට සමාගම අනුකූලව කටයුතු කළේ ද යන්න විමර්ශනය කිරීම, හුවාංගේ පෞද්ගලික සබඳතා පිළිබඳ චෝදනාවලට වඩා වැදගත් බවයි.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය ආධිපත්‍යය සඳහා චීනය සමඟ පවතින තරගය හමුවේ, එරටට වඩාත් දියුණු කෘත්‍රිම බුද්ධි චිප් අලෙවි කිරීම අමෙරිකාව විසින් සීමා කර තිබේ. කෙසේ වෙතත්, 2025 වසර අවසානයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් එන්වීඩියා සමාගමේ H200 මාදිලියේ චිප් චීනයට අලෙවි කිරීමට අවසර ලබාදී තිබුණ ද, ඊටත් වඩා දියුණු චිප් අලෙවිය සඳහා අවසර ලබාදී නොමැත.

ඒ අනුව, ඉදිරි දින 10 ඇතුළත ජෙන්සන් හුවාංගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සමාගම සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල සහ අදාළ කරුණු පිළිබඳ පිළිතුරු ලබාදෙන ලෙස අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා ඇත.

මේ අතර, චීනය සම්බන්ධයෙන් කටයුතු කරන අමෙරිකානු කොංග්‍රස් කමිටුවක් ඇතුළු තවත් කමිටු කිහිපයක් ඉදිරියේ සාක්ෂි ලබාදීමට ජෙන්සන් හුවාං එකඟ වී ඇති බව ද වාර්තා වේ.

මෙම සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති සිංගප්පූරුවේ මෙගාස්පීඩ් (Megaspeed International) සමාගම ද තමන් නීත්‍යනුකූල ව්‍යාපාරික ආයතනයක් බව ප්‍රකාශ කර තිබේ.

චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන ඇලිස් හුවාං නමැති කාන්තාව 2025 වසරේදී එම සමාගමෙන් ඉවත්ව ඇති බව ද එහි කළමනාකාරිත්වය සඳහන් කර ඇත. පසුගිය වසර තුනක කාලය තුළ එන්වීඩියා සමාගමේ විශාලතම විදේශීය ගැනුම්කරුවන් අතරට එක්ව සිටි මෙගාස්පීඩ් සමාගම, කෘත්‍රිම බුද්ධි චිප් සහ උසස් පරිගණක දෘඩාංග මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් වැය කර තිබේ.

කෙසේ වෙතත්, අදාළ සමාගම විසින් මිලදී ගත් චිප් වෙනත් රටවලට හෝ චීනයට නීතිවිරෝධී ලෙස යොමුකර තිබේද යන්න පිළිබඳව අමෙරිකානු සහ මැලේසියානු බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සිංගප්පූරු බලධාරීන් ද මෙගාස්පීඩ් සමාගමේ සැකකටයුතු නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඇලිස් හුවාංගේ විදේශ ගමන් බලපත්‍රය ද 2025 ජූනි මාසයේ සිට 2026 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ රඳවාගෙන තිබූ බව වාර්තා වේ.

පොලිසිය විසින් ඇය සමාගම තුළ දැරූ භූමිකාව පිළිබඳව ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් සැක පළ කර තිබුණ ද, ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඇය මුදාහැරීමට පියවර ගෙන ඇත. පසුව ඇයට දැඩි අවවාදයක් ලබාදී සිංගප්පූරුවට යළි ඇතුළුවීම තහනම් කර තිබේ. තායිවානය ද ඇයට යළි ඇතුළුවීම තහනම් කර ඇති බව සඳහන් වේ.

මේ අතර, අමෙරිකානු නීතිපති ටොඩ් බ්ලැන්ච් ප්‍රකාශ කර ඇත්තේ ඇලිස් හුවාං චීන ඔත්තුකාරියක ද යන්න පිළිබඳව අධිකරණ දෙපාර්තමේන්තුව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නොමැති බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, චීන රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවාට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts