මව්බිම සේවක ගැටලුවට කඩිනමින් මැදිහත් වෙන්න – මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලයි

සිලෝන් නිව්ස්පේපර්ස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයට අයත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිස මුහුණ දී සිටින බව කියන වෘත්තීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කරන ලෙස මෙරට මාධ්‍ය සංවිධාන කිහිපයක් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙන ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදය සහ දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ යන සංවිධාන මෙම ලිපියට අත්සන් තබා තිබේ.

අදාළ පුවත්පත්වල සේවය කරන මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිසකට මාස ගණනාවක වැටුප් සහ සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම, සේවකයින්ගේ රැකියා අහිමි කිරීම සහ සේවක පාරිතෝෂික නොගෙවීම ඇතුළු බරපතළ ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බව එම සංවිධාන පෙන්වා දී තිබේ.

එමෙන්ම, තවදුරටත් රැකියාවෙන් ඉවත් කර නොමැති සේවකයින්ට පවා තමන් සේවය කරන ආයතන පරිශ්‍රයට ඇතුළු වීම පාලනාධිකාරිය විසින් අවහිර කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

මෙම සේවකයින්ගේ සේවා අවසන් කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හෝ අදාළ රාජ්‍ය බලධාරීන් පූර්වයෙන් දැනුවත් කිරීමට ආයතන පාලනාධිකාරිය කටයුතු කර නොමැති බවටද මාධ්‍ය සංවිධාන චෝදනා කර තිබේ.

මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද දැඩි ආර්ථික හා සමාජීය දුෂ්කරතාවලට මුහුණ දී සිටින බව එම සංවිධාන අවධාරණය කර ඇත.

රටේ පවත්නා කම්කරු නීති සහ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් මෙම කටයුතු සිදුවන බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන, අගතියට පත් මාධ්‍යවේදීන් ඇතුළු සේවක පිරිසට සාධාරණය ඉටු කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව නිල වශයෙන් මැදිහත් විය යුතු බවද ඉල්ලා සිටී.

එමෙන්ම, මෙම ගැටලුව ඇතුළු ජනමාධ්‍ය කර්මාන්තයේ සේවකයින් මුහුණ දෙන අනෙකුත් වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ බලධාරීන් සමඟ සාකච්ඡා අවස්ථාවක් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපක්ෂපාතීව සහ කඩිනමින් පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද මාධ්‍ය සංවිධාන එකමුතුව සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts