පුවත්පත යළි මුද්‍රණය කිරීමට සූදානම්වීමේදී උද්ඝෝෂණයක් පවත්වා එම කටයුතු නතර කළ බවට සිලෝන් නිවුස්පේපර්ස් සමාගම පැවසූ චෝදනාව මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු මහතා අද (16) කොළඹ 08, අංක 08 කම්කරු විනිශ්චය අධිකාරිය හමුවේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සිලෝන් නිවුස්පේපර්ස් සමාගමට එරෙහිව මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු මහතා පවරා ඇති කම්කරු නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදී සිය පුවත්පත යළි මුද්‍රණය කිරීම සඳහා සූදානම් කරමින් සිටි පසුබිමක පැමිණිලිකාර පාර්ශ්වය පසුගියදා උද්ඝෝෂණයක් පවත්වා එම කටයුතු අඩාල කළ බවට වගඋත්තරකාර සමාගමේ නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා.
එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පවසමින් එය ප්‍රතික්ෂේප කළ මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කියා සිටියේ, තමාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් නීත්‍යානුකූලව කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඉන් අනතුරුව කම්කරු විනිශ්චය අධිකාරියේ පිහිට පැතුවේද සාධාරණත්වය අපේක්ෂාවෙන් පමණක් බවයි.
මේ අතර අද පැවති නඩු විභාගයේදී වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, පැමිණිලිකාර මාධ්‍යවේදියා විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට එක් කරන ලද සටහනක් හේතුවෙන් මෙම නඩු කටයුත්තට බලපෑමක් එල්ල වී ඇති බවයි.
එම සටහනේ ඡායා පිටපතක්ද වගඋත්තරකාර පාර්ශ්වය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥ දිනුෂා එල්. සිල්වා මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ, තම සේවාදායකයා මාධ්‍යවේදියෙකු වන බැවින් මෙම සිදුවීම පිළිබඳව සෙසු මාධ්‍ය ආයතන විසින්ද නිරන්තරයෙන් පුවත් වාර්තා කරන බවයි.
කෙසේ වෙතත් නඩු කටයුත්තට අදාළව සමාජ මාධ්‍ය සටහන් තැබීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස අධිකරණය එහිදී පැමිණිලිකාර පාර්ශ්වයට උපදෙස් දුන්නා.
වගඋත්තරකාර පාර්ශ්වය අද අධිකරණයට ඉදිරිපත් කළ ෆේස්බුක් සටහනේ දැක්වුණේ, 2026 ඔක්තෝබර් 12 වැනිදා පැවති නඩු විභාගයේදී සමාගමේ මානව සම්පත් කළමනාකාරිනී නිලුකා කනකරත්න මහත්මිය විසින් මව්බිම දිනපතා සහ ඉරිදා පුවත්පත් වසා දමා මුද්‍රණය නතර කර ඇති බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බවයි.
එදින සමාගම වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටීම හේතුවෙන් නඩුව දිගින් දිගටම කල් දැමීමට ඉඩ නොතබන බවට අධිකරණය දැඩි අවවාදයක් කළ බවද එම සටහනේ සඳහන් වුණා.
එම කරුණු තහවුරු කරමින්, 2026 ඔක්තෝබර් 12 වැනිදාට අදාළව අංක 08/39/2026 දරන නඩුවේ කම්කරු විනිශ්චය අධිකාරිය නිකුත් කළ නිල කාර්ය සටහන් වාර්තාවේද කරුණු රැසක් සටහන්ව තිබෙනවා.
එදින වගඋත්තරකාර ආයතනය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී නිලූකා කනකරත්න මහත්මිය පමණක් පෙනී සිට ඇති අතර නීතිඥ නියෝජනයක් තිබී නැත.
ආයතනයේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් දිනපතා මව්බිම පුවත්පත සහ සති අන්ත පුවත්පත් මුද්‍රණය කිරීම නවතා දමා ඇති බවත් මැයි මාසයේ සේවය කළ සේවකයන්ගේ වැටුප් පවා තවමත් ගෙවා නිම කර නොමැති බවත් ඉදිරියේදී ආයතනයට ලැබෙන මුදල් මත සියලු හිඟ වැටුප් ගෙවා අවසන් කරන බවත් ඇය එහිදී පවසා තිබුණා.
එමෙන්ම ඉල්ලුම්කරුගේ සේවය අවසන් කිරීම වගඋත්තරකරු පිළිනොගන්නා පසුබිමක 2026 ජුනි මාසයේ සිට 2026 ඔක්තෝබර් මස දක්වාවූ හිඟ වැටුප් ගෙවන්නේ නම්, ඉදිරියේදී සේවය අවසන් කළහොත් යළි නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් නඩුව ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවට ඉල්ලුම්කාර පාර්ශ්වය සමථ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
ඒ පිළිබඳ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර දැනුම් දීම සඳහා අද දිනය නඩුව කැඳවීමට නියම කෙරිණි.
මෙම නඩුවේ පැමිණිලිකාර රවිශාන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥ දිනුෂා එල්. සිල්වා මහත්මිය පෙනී සිටි අතර නඩුව යළි 2026 දෙසැම්බර් 10 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කළා.
මේ අතර සිලෝන් නිව්ස්පේපර්ස් පුද්ගලික සමාගමට අයත් මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල සේවකයින් මුහුණ දී සිටින වැටුප් සහ රැකියා ගැටලුවලට කඩිනමින් මැදිහත් වන ලෙස මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මීට පෙර සිලෝන් නිවුස්පේපර්ස් සමාගම විසින් මව්බිම දිනපතා සහ ඉරිදා පුවත්පත් වසා දමා ඇති බව එහි මානව සම්පත් කළමනාකාරිනී නිලුකා කනකරත්න මහත්මිය බොරැල්ල අංක 08 කම්කරු විනිශ්චය අධිකරණයට දැනුම් දී තිබූ අතර මව්බිම පුවත්පතේ කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දු මහතා තවමත් ආයතනයේ සේවකයෙකු බවත් ඔහුව සේවයෙන් ඉවත් කර නොමැති බවත් සිලෝන් නිවුස්පේපර්ස් පාලනාධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කර තිබුණා.
