ගල් අඟුරු වංචාව විදුලි බල මණ්ඩලයේ පාඩුවට හේතුවයි – දයාසිරි ජයසේකර

2025 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන 38,739.00ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට අද (නොවැම්බර් 19) පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ආදායමේ සැලකිය යුතු පහත වැටීමක් සිදුවීම, පෙර වසරට සාපේක්ෂව වෙනත් ආදායම් අඩුවීම, විදුලිය මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම සහ වහල මත සවිකරන සූර්ය බල පද්ධති සඳහා ගෙවීම් ඉහළ යාම මෙම අලාභයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ 2023 සහ 2024 වසරවලදී ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය 2025 වසරේදී විශාල අලාභයක් ලබා ඇති බවයි. එම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ගල්අඟුරු ගැටලුව බවද ඔහු පැවසීය.

මේ වන විට මෙට්‍රික් ටොන් 100,000ක ගල්අඟුරු ආරක්ෂිත තොගයක් (Buffer Stock) පවත්වාගෙන යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ගල්අඟුරු නැව් 25ක් පැමිණීමට නියමිතව තිබුණද ඉන් පැමිණ ඇත්තේ නැව් 19ක් පමණක් බවත්, එම නැව්වලින් රැගෙන ආ ගල්අඟුරුවලද දහනය සඳහා අවශ්‍ය ප්‍රමිතිය නොතිබූ බවත් ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව තවත් නැව් පහක් ලබා ගැනීමට කටයුතු කළද පැමිණ ඇත්තේ නැව් හතරක් පමණක් බවත්, එහිදී ද පස්වැනි ගල්අඟුරු නැව සම්බන්ධයෙන් ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතුව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, මෙම වසරේ මාර්තු 1 වැනිදා සිට ජූනි මාසය දක්වා කාලය තුළ විදුලි බල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 5.68ක් ලෙස සීමාසහිත ලංකා විදුලි ජනන (පුද්ගලික) සමාගම ප්‍රකාශ කර ඇති බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

මෙම අලාභය අවසානයේ ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවට බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, විදුලි බල අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා කටයුතු කළද තවමත් තීරණ ගනු ලබන්නේ කුමාර ජයකොඩි බවටද චෝදනා කළේය.

විදුලි බල මණ්ඩලයට සිදුව ඇති මෙම අලාභය ජනතාවගෙන් අයකර ගැනීමට රජය බලාපොරොත්තු වන්නේද, එසේ නොමැති නම් එම අලාභය පියවා ගැනීම සඳහා වෙනත් ක්‍රමවේදයක් පවතින්නේද යන්න පිළිබඳවද දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කළේය.

Author

Leave a Reply

Related Posts