පසුගිය සතියක කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදය පුරා මයික්‍රොසොෆ්ට්, ඇපල් සහ ප්‍රධාන පෙළේ බැංකු ඇතුළු ආයතන රැසක තාක්ෂණික පද්ධති අක්‍රිය වීමත්, එරට සියලුම ගුවන් ගමන් පැය කිහිපයකට අත්හිටුවීමට සිදුවීම හේතුවෙන් ඇමරිකානු ජනතාව අතර ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිට ඇමරිකාව තුළ දිනපතාම පාහේ විවිධ තාක්ෂණික බිඳවැටීම් වාර්තා වී තිබේ.
මෙම සිදුවීම් අතර ලෝකයේ ප්‍රමුඛතම තාක්ෂණික සමාගමක් වන මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවා බිඳවැටීම, ඇමරිකාව පුරා ගුවන් ගමන් නතර කිරීමට සිදුවීම, ප්‍රධාන බැංකුවල පද්ධති අඩපණ වීම සහ ඇපල් සමාගමේ සේවාවලට බාධා ඇතිවීම කැපී පෙනේ.
විශේෂයෙන්ම, එකිනෙකට සම්බන්ධයක් නොමැති බවට පසුව හඳුනාගත් මෙම සිදුවීම් ඉතා කෙටි කාලයක් තුළ සිදුවීම හේතුවෙන් ඒවා පිටුපස කිසියම් පොදු හේතුවක් පවතින්නේද යන්න පිළිබඳව ජනතාව අතර සැකයක් මතුව තිබේ.
එහෙත්, බලපෑමට ලක්වූ සෑම සමාගමක්ම සහ රාජ්‍ය ආයතනයක්ම තමන් මුහුණ දුන් ගැටලුව සයිබර් ප්රහාරයක ප්‍රතිඵලයක් නොවන බව ප්‍රකාශ කර තිබේ.
ඒ වෙනුවට, පැරණි තාක්ෂණික පද්ධති යාවත්කාලීන කිරීම, මෘදුකාංග දෝෂ සහ යටිතල පහසුකම්වල ඇති ගැටලු මෙම බිඳවැටීම්වලට හේතු වී ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇත.
මෙම සිදුවීම් මාලාවේ වඩාත්ම අවධානයට ලක්වූ සිදුවීමක් වූයේ ඇමරිකාව පුරා ගුවන් ගමන් නතර කිරීමට සිදුවීමයි.
පසුගිය සිකුරාදා ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් රට පුරා ගුවන් ගමන් පැය හතරකට අධික කාලයක් සඳහා නතර කිරීමට පියවර ගෙන තිබේ.
දුර්ලභ අවස්ථාවක් වන මෙම ජාතික මට්ටමේ ගුවන් ගමන් අත්හිටුවීම, 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදුවූ දීර්ඝතම ගුවන් ගමන් නතර කිරීම ලෙස වාර්තා වී ඇත.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේදී ගුවන් ගමන් නතර කිරීමට හේතුව සයිබර් ප්‍රහාරයක් නොව තාක්ෂණික දෝෂයක් බව ඇමරිකානු ප්‍රවාහන ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන්ම, තඹ රැහැන් පද්ධතියක් යාවත්කාලීන කිරීමේ කටයුතු සහ පැරණි උපකරණ භාවිතය මෙම ගැටලුවට හේතු වී ඇති බව සඳහන් කර ඇත.
ගුවන් ගමන් නතර කිරීමෙන් පසුව ද ඇමරිකාවේ ප්‍රධාන ආයතන කිහිපයක තාක්ෂණික ගැටලු වාර්තා වී තිබේ.
සඳුදා දිනයේදී United Airlines ගුවන් සේවයේ තාක්ෂණික පද්ධතියක ඇති වූ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් 150කට පමණ ප්‍රමාදයන් සිදුව තිබේ.
එමෙන්ම, ඇමරිකාවේ විශාලතම සහ වැඩිම ගනුදෙනු ප්‍රමාණයක් සිදුකරන බැංකු අතරින් එකක් වන JPMorgan Chase බැංකුවේ මෘදුකාංග ගැටලුවක් හේතුවෙන් එහි සේවාවලට ද බාධා ඇති වී ඇත.
මෙම ආයතන දෙකම පසුව ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගැටලු සඳහා හේතුව මෘදුකාංග ආශ්රිත දෝෂ බවයි.
පසුගිය අඟහරුවාදා දිනයේදී ඇපල් සමාගමේ ද තාක්ෂණික බිඳවැටීම් මාලාවක් අඛණ්ඩව වාර්තා වී තිබේ.
Apple iCloud සහ Apple Pay සේවාවන් භාවිත කරන පාරිභෝගිකයන්ට එදින සේවා බිඳවැටීම්වලට මුහුණ දීමට සිදු වී ඇත.
කෙසේ වෙතත්, මෙම ගැටලුව සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඇතිවූවක් නොවන බවත්, සමාගම තුළ සිදුකළ අභ්‍යන්තර යාවත්කාලීන කිරීමක් හේතුවෙන් එය ඇතිවූ බවත් ඇපල් සමාගම ප්‍රකාශ කර තිබේ.
එදිනම තවත් විශේෂ සිදුවීමක් ලෙස ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA) අභ්‍යන්තර සන්නිවේදනය සඳහා භාවිත කරන ඉතා රහස්‍ය පරිගණක ජාලයක් ද යම් කාලයක් සඳහා ක්‍රියා විරහිත වී තිබේ.
ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු සහ සන්නිවේදන කටයුතු සඳහා භාවිත වන මෙවැනි පද්ධතියක බිඳවැටීමත් සමඟ මෙම සිදුවීම් පිළිබඳව පැවති අවධානය තවදුරටත් ඉහළ ගොස් ඇත.
එහෙත්, එම සිදුවීම ද සයිබර් ප්රහාරයක ප්‍රතිඵලයක් බවට තහවුරු කිරීමක් ඉදිරිපත් වී නොමැත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සඳහන් කර ඇත්තේ ජනතාව තුළ බියක් පවතින බව රජය හොඳින් අවබෝධ කරගෙන සිටින බවයි.
එහෙත්, මෙම සිදුවීම් සියල්ලටම සයිබර් අපරාධකරුවෙකු, සතුරු පාර්ශ්වයක් හෝ වෙනත් රටක් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ.
