ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ඩිජිටල් පරිවර්තනයේ, සුහුරු ප්රවේශයේ මූලාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී දළදා මාලිගාවේ පුස්තකාලය, ශ්‍රේෂ්ඨාධිකරණය, රෝහල් පද්ධතිය, දුම්රිය දෙපාර්තමේන්තුව මෙන්ම ත්‍රිපිටකය ද ඩිජිටල්කරණය කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථිකව ක්‍රියාත්ම කරමින් පවතිනවා.
එම වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භෞතික නඩු ගොනු රහිතව ඉලෙක්ට්‍රොනිකව (e filing) නඩු ගොනු කිරීමේ වැඩපිළිවෙළ පසුගිය පෙබරවාරි 10 වන දින සිට විවෘත කරන ලද, ඒ හරහා නීතිඥවරුන්ට ඉලෙක්ට්‍රොනිකව නඩු ගොනු කිරීම සඳහා අවකාශය නිර්මාණය කරනු ලැබුවා.
එහි දී එලෙස ඉලෙක්ට්‍රොනික අවකාශය තුළ ගොනු කරන ලද නඩු අතරින්, කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ ප්‍රථම නඩු විභාගය ලෙස, 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය, විභාග දිනට පෙර දිනයේදී පිට කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාරව රජය වෙත ගෙවීමට නියමකොට තිබූ රුපියල් මිලියන 03 ක වන්දි මුදල වගඋත්තරකරු විසින් ගෙවීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ වරද පිළිබඳ ගොනු කරනු ලැබ තිබූ නඩු කටයුත්ත අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර, ආචාර්ය සෝභිත රාජකරුණා විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවා.
නඩුව කැඳවූ අවස්ථාවේ දී නඩු ගොනුව පරිශීලනය සඳහා සාම්ප්‍රදායික ලිපි ගොනුවක් වෙනුවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සකස් කරන ලද ඩිජිටල් නඩු ගොනුව පරිගණකය තුළින් විනිසුරු මඬුල්ල විසින් මෙම නඩුවේ දී පරිශීලනය කරන ලද අතර, වගඋත්තරකරුට එරෙහි අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා පත්‍රය විවෘත අධිකරණයේදී වගඋත්තරකරු වෙත පහදා දී, චෝදනා පත්‍රය මත ඩිජිටල් අත්සන තබා විද්‍යුත් පද්ධතිය වෙත මුදාහැරීම මඟින් චෝදනා පත්‍රය වෙත ප්‍රවේශය ද අදාළ පාර්ශ්ව වෙත ලබා දෙනු ලැබුවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ආරම්භ කරන ලද අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා වූ “e-court”ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහාය ඇතිව පමණක් ගොඩනඟා ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් හඳුන්වා දෙන ලද e-filing යෙදවුම ඔස්සේ වඩා ඵලදායි හා අඩු වියදම් සහිත නඩු ගොනු කිරීම සිදු කළ හැකි බවත්, එමඟින් ලිපි ද්‍රව්‍ය සඳහා වන විශාල විදේශ විනිමය සහ පිරිවැය ඉතිරි කරගැනීමට හැකි වනු ඇති බවත් විශ්වාස කරනු ලබනවා.
මෙම ක්‍රමවේදයේ ඇති පහසුව හේතුවෙන් නීතිඥවරු විශාල වශයෙන් විද්‍යුත් නඩු ගොනු කිරීම සඳහා යොමු වීම දක්නට ලැබෙන බව හා ශ්‍රී ලංකාව පුරා ඇති සියලු අධිකරණ සඳහා මෙම ක්‍රමවේදය නොබෝ දිනකින් හඳුන්වා දීම අපේක්ෂා කරන බව මේ පිළිබඳව ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනු ලබනවා.
මේ අතර, රෝහල්වල ඖෂධ නිකුත් කිරීමේදී රෝගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා රෝගීන්ට ස්මාර්ට් ටෝකන් නිකුත් කිරීම කරාපිටිය රෝහල මූලික කරගනිමින් පසුගියදා ආරම්භ කරනු ලැබුවා.
සායනික රෝගීන් සඳහා ඖෂධ නිකුත් කිරීමේදී පෝලිම්වල රැඳී සිටිමින් අපහසුතාවට පත්වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය කේන්ද්‍ර කර ගනිමිනුුුයි මෙම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ පසුගියදා (25) නිල වශයෙන් ආරම්භ කෙරුණේ.
මෙම වැඩපිළිවෙළ දැනට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන බවත්, ඉදිරියේ දී QR ක්‍රමයක් දක්වා වැඩිදියුණු කිරීමට නියමිත බවත් සඳහන් කළ, රාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රංග ඇතුළු නිලධාරීන් පෙන්වා දෙනු ලැබුවේ, බාහිර ඖෂධ ලබා ගැනීම සඳහා ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ නමුත්, මෙමඟින් ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පූජ්‍ය පක්ෂය, විශ්‍රාමික සහ වැඩිහිටි ප්‍රජාවන්ට ද විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙන අතර මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රෝගීන්ගෙන් ඉතාමත්ම යහපත් ඉහළ ප්‍රතිචාර ලැබෙන බවයි නිලධාරීන් සඳහන් කරනු ලබන්නේ.
ඒ අනුව මෙහි දී, නව ඩිජිටල්කරණ ක්‍රමවේදය යටතේ සායනයේදී රෝගීන් සඳහා ඖෂධ වට්ටෝරුව ලබාගෙන ඖෂධ ලබාදෙන ස්ථානයේදී තොරතුරු ඉදිරිපත් කර එය ලියාපදිංචි කිරීමෙන් පසු ටෝකනයක් ලබාදෙන අතර, ඒ හරහා අපහසුතාවකින් තොරව අදාළ අංකයට හිමි ඖෂධ නිකුත් කරනු ඇති බවයි සඳහන් වන්නේ.
තව ද මෙම වැඩපිළිවෙළට සමගාමීව දළදා මාලිගාවේ පුස්තකාලය සතු, බෞද්ධ ග්‍රන්ථවල පැරණිතම සහ වඩාත්ම වටිනා එකතුව වන ත්‍රිපිටකය ඩිජිටල්කරණය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩසටහන සඳහා මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන්ගේ ආශීර්වාදය හා අනුමැතිය ලැබී ඇති අතර, දළදා මාලිගාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල ද සිය පූර්ණ අනුමැතිය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.
ක්‍රි.පූ. 1 වැනි සියවසේදී වළගම්බා රජුගේ පාලන සමයේදී මාතලේ අළුවිහාරයේ දී ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කරන ලද පාලි ත්‍රිපිටකය ඇතුළු ඓතිහාසික අත්පිටපත් මේ වන විට දළදා මාලිගා පුස්තකාලයේ තැන්පත් කර ඇති අතර, ඒවා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සුරක්ෂිත කිරීම මෙහි අරමුණ බව පැවසෙනවා.
මෙම සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා තවත් මාස හය හතක් දක්වා කාලයක් ගතවනු ඇති බවයි මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් පුස්තකාලයාධිපති සමරකෝන් මහතා සඳහන් කරනු ලැබුවේ.
