අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ පුහුණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක් බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිදුවීමට අදාළව වින්දිත වෛද්‍යවරියගෙන් වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම එළඹෙන ඔක්තෝබර් මස 19 වන දින සිදු කිරීමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා නියෝග කළා.
අදාළ නඩු විභාගය අනුරාධපුර මහාධිකරණය හමුවේ අද (28) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර වෛද්‍යවරිය සිය පළමු සාක්ෂිය ලබාදීම සඳහා අධිකරණයට ඉදිරිපත්ව සිටියා.
එහිදී වෛද්‍යවරිය සාක්ෂි ලබාදෙන මොහොතේ නඩුවට ඍජුව සම්බන්ධ නොමැති සියලු පුද්ගලයින් වහාම විවෘත අධිකරණ ශාලාවෙන් ඉවත් කරන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා පොලිසියට නියෝග කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හිමාලි ජයනෙත්ති මෙනවියගේ සාක්ෂි මෙහෙයවීම යටතේ වින්දිත වෛද්‍යවරිය පැය එකහමාරකට අධික කාලයක් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.
අනතුරුව සාක්ෂි විමසීම ඔක්තෝබර් 19 දක්වා කල් තැබූ විනිසුරුවරයා, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පළමු සාක්ෂිකාර වෛද්‍යවරියට සහ දෙවන සාක්ෂිකරු වන ඇගේ පියාට නියෝග නිකුත් කළා.
එමෙන්ම වෛද්‍යවරියගෙන් කොල්ලකා ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගත් ස්මාර්ට් ජංගම දුරකතනය පිළිබඳ රස පරීක්ෂණ වාර්තාව සහ ඊට අදාළ දුරකතන ඇමතුම් විශ්ලේෂණ වාර්තාව ඊළඟ නඩු දිනයේදී කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට රජයේ රස පරීක්ෂකවරයාට සහ දුරකතන සමාගමට නියෝග කළා.
ගල්නෑව නව නගරයේ පදිංචි කේ.බී. මධුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළා මෙම නඩුවේ විත්තිකරු වන අතර 2025 මාර්තු මස 10 වන දින හෝ ඊට ආසන්න දිනයකදී මෙම අපරාධය සිදු කිරීම සම්බන්ධයෙන්, සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 364 (1) වගන්ති යටතේ බරපතළ ලිංගික හිංසනය සහ සාපරාධී බලහත්කාරය පෑම යන වැරදිවලට අදාළව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා.
මෙම නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විභාගයකින් තොරව සෘජුවම මහාධිකරණයේ ගොනු කළ විශේෂ නඩුවක් වන අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදු මෙනවිය විසින් 2026 මැයි 22 වන දින අධිචෝදනා පත්‍රය භාර දෙනු ලැබුවා.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සම්පත් සේනතුංග, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර, ළමා හා කාන්තා කාර්යංශ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානි සෙනෙවිරත්න ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හා සිවිල් පුද්ගලයින් 42 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර සිද්ධියට අදාළ පිහිය, ඇඳුම්, කෙස් හා රුධිර සාම්පල සහ රස පරීක්ෂක වාර්තා ඇතුළු නඩු භාණ්ඩ රැසක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අධිකරණයේදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන පෙනී සිටි අතර වින්දිත වෛද්‍යවරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාස සංකීර්ණය තුළට අලුයම් කාලයේදී තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වී මෙම අපරාධය සිදුකර පළා ගොස් සිටි සැකකාර හිටපු හමුදා සෙබළා, පොලිස් කණ්ඩායම් කිහිපයක් සිදුකළ දීර්ඝ මෙහෙයුමකින් පසු ගල්නෑව ප්‍රදේශයේ සඟවා තිබූ වෛද්‍යවරියගේ ජංගම දුරකතනයද සමග 2025 මාර්තු මසදී අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම රෝහල් පරිශ්‍රයන් සහ නිල නිවාස තුළ සේවයේ නියුතු වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති අනුරාධපුර රෝහල ඉදිරිපිට කළු පටි පැළඳ විරෝධතා දැක්වූ අතර හදිසි සේවා හැර සෙසු කටයුතුවලින් ඉවත් වී සංකේත වැඩවර්ජනයක ද නිරත වුණා.
සිද්ධියේ බරපතළකම, සමාජයීය බලපෑම සහ වින්දිත පාර්ශවයට කඩිනම් යුක්තිය ඉටුකිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සාමාන්‍යයෙන් මහේස්ත්‍රාත් අධිකරණයක පැවැත්වෙන ලඝු නොවන මූලික සාක්ෂි විභාගයකින් තොරව සෘජුවම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගනු ලැබුවා.
