තමන් කථානායක ධුරය දැරූ සමයේ අධික ලෙස වාහන සහ ඉන්ධන භාවිත කළ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සත්‍ය විකෘති කිරීමක්, දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුකරන නොමඟ යැවීමක් සහ ද්වේෂසහගත චෝදනාවක් බව පවසමින් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් මීට පෙර 2025 මාර්තු මස අවස්ථා දෙකකදී පැහැදිලි කර ඇති බව සඳහන් කරන හිටපු කථානායකවරයා, අදාළ විශේෂ විගණන වාර්තාව මඟින් 2015 සිට 2024 දක්වා කාලය තුළ හිටපු කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන්, කාරක සභා සභාපතිවරුන්, මහ ලේකම්වරුන්, සහකාර මහ ලේකම්වරුන් හා අංශ ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූවන්ගේ වාහන හා ඉන්ධන භාවිතය පිළිබඳ නිරීක්ෂණ පමණක් ඉදිරිපත් කර තිබියදී, ඉන් තමන්ගේ ධුර කාලය පමණක් වෙන්කොට පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරමින් සිටින බව සඳහන් කළා.
තමන් භාවිත කළේ පාර්ලිමේන්තුව මඟින් නිල වශයෙන් ලබාදුන් වාහන පමණක් බව එම විගණන වාර්තාවෙන්ම තහවුරු වන බවත් තමන් වාහන 9ක් භාවිත කළ බවට මින් පෙර කළ ප්‍රකාශය අසත්‍ය චෝදනාවක් බව හෙළි වී ඇති බවත් ඔහු සඳහන් කළා.
එම සියලු වාහන කථානායකවරයාගේ නිල රාජකාරි සහ ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛ හා ප්‍රතිපාදන මත ලබාදුන් ඒවා බවත් 2022 ජූලි මස රට තුළ පැවති දේශපාලන හා සමාජ අස්ථාවරත්වය හේතුවෙන් ඇති වූ දැඩි ආරක්ෂක තත්ත්වය හමුවේ තමන්ගේ ආරක්ෂාව තර කරමින් විශේෂ කාර්ය බළකාය හා පොලිස් අමතර භට පිරිස්, නිල නිවාස සහ නිවාස සඳහා යෙදවූ බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බල හුවමාරුවක් සිදුවෙමින් පැවති එම කාලසීමාවේ පාර්ලිමේන්තුව වටා පවා දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව පවසන ඔහු සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත ආරක්ෂක පෙරගමන් රථ, පරිවාර රථ සහ ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරි සඳහා වාහන ධාවනය කළ බවත් එම කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් අමතර වාහන දෙකෙන් එකක් ඉන්ධන පරිභෝජනය ඉතා අධික නොවන වර්ගයේ රථයක් වූ බවයි.
2023 සහ 2024 වර්ෂවල සිදුවූ රාජකාරි කටයුතු හා ගමන් බිමන් බහුල වීම සහ ආරක්ෂක හේතූන් මත සාපේක්ෂව ඉන්ධන වියදමේ ක්‍රමික වැඩිවීමක් සිදුව ඇති බවත් රටේ තෙවැනි පුරවැසියා ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි සංචාරවල නිරතවීමේදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෞද්ගලික වාහන භාවිතය සහ කථානායකවරයෙකුගේ ආරක්ෂක රථ පෙළේ ඉන්ධන භාවිතය එකම පදනමකින් සැසඳිය නොහැකි බවත් ඔහු පෙන්වාදෙනවා.
එමෙන්ම 2020, 2021 සහ 2022 වර්ෂවල ඉන්ධන භාවිතය ඊට පෙර සිටි කථානායකවරුන්ගේ භාවිතයට සමාන බව විගණන වාර්තාවේද පෙන්වා දී ඇති පසුබිමක සියලු වාහන සඳහා වසරක් තුළ වැය කළ මුළු ඉන්ධන ප්‍රමාණය තනි වාහනයකට යෙදවූවාක් මෙන් හුවාදක්වමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ප්‍රකාශ සංඛ්‍යාමය හෝ ගණිතමය හැකියාවේ දුර්වලතාවක් හෝ සාධාරණීකරණය කළ නොහැකි ප්‍රකාශ බවයි මහින්ද යාපා මහතා පවසන්නේ.
රටේ ජනතාව ඉන්ධන පෝලිම්වල සිටි සමයේ මෙම ඉන්ධන භාවිතය සිදුවූ බවට නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පෙන්වා දෙන මහින්ද යාපා අබේවර්ධන මහතා, 2022 අගෝස්තු 1 වනදා හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය මඟින් දිගු පෝලිම් අවසන් වූ බවත් 2023 සැප්තැම්බර් මස එම QR ක්‍රමයද අහෝසි වූ බැවින් 2023 සහ 2024 වසරවල දත්ත 2022 පෝලිම් යුගයට ඈඳමින් ජනතාව කුපිත කිරීමට උත්සාහ කරන්නේ බංකොලොත් අසාර්ථක දේශපාලන උත්සාහයකින් බවත් එම නිවේදනයෙහි සඳහන් කර තිබෙනවා.
වාහන සංඛ්‍යාව, ධාවන දුර, රාජකාරි ගමන්, පරිවාර රථ ධාවනය වූ අවස්ථා නොසලකා මුළු ඉන්ධන ප්‍රමාණය පමණක් ගෙන “අසීමිත පුද්ගලික පරිභෝජනයක්” ලෙස චෝදනා කිරීම අවිද්‍යාත්මක බවත් වාහන ධාවන සටහන් හා ඉන්ධන ලබාගත් ප්‍රමාණ පිළිබඳ සියලු නිල දත්ත පාර්ලිමේන්තුව සතුව ඇති බැවින් ඕනෑම පුරවැසියෙකුට ඒවා පරීක්ෂා කර සත්‍ය තහවුරු කරගත හැකි බවත් ඔහු පවසනවා.
අද රට තුළ එවැනි බරපතළ ආරක්ෂක අර්බුදයක් නොමැති සාමකාමී තත්ත්වයකදී පවා ඉහළ තනතුරු දරන්නන් ආරක්ෂක හා රාජකාරි අවශ්‍යතා මත වාහන දෙකකට වඩා භාවිත කරන අතර ඒ සඳහා රජය වැය කරන මුදලද මීට ආසන්න විය යුතු බව සඳහන් කරන හිටපු කථානායකවරයා, 2022 වැනි අතිශය බරපතළ අවස්ථාවක ක්‍රියාත්මක වූ ආරක්ෂක රථ ධාවනය අසාමාන්‍ය හෝ අනවශ්‍ය එකක් ලෙස හැඳින්වීම වර්තමාන තත්ත්වයන් යටතේ සාධාරණීකරණය කළ නොහැකි බවත් තමන්ගේ ධුර කාලය පමණක් තෝරාගෙන මෙලෙස ප්‍රචාර කරන්නේ මහජන අවධානය වෙනතකට යොමු කිරීමටදැයි සැකයක් මතුවන බවත් සඳහන් කළා.
යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සාක්ෂි ඇත්නම් ඒ පිළිබඳව නිසි නීතිමය හා පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට තම කිසිදු විරෝධයක් නොමැති බව පැවසූ ඔහු, ඒ වෙනුවෙන් සියලු දත්ත විධිමත්ව පරීක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියා.
කෙසේවෙතත්, පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නිකුත් කර ඇති විශේෂ විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ, කථානායක තනතුරට ඉන්ධන සීමාවක් පනවා නොතිබීම හේතුවෙන් සීමාවකින් තොරව ඉන්ධන ලබාදී ඇති බවයි.
එම වාර්තාවේ 7 වන වගුවට අනුව 2016 සිට 2024 දක්වා කාලය තුළ කථානායක කාර්යාලයට ලබාදුන් මුළු ඉන්ධන ප්‍රමාණය ලීටර් 299,146ක් වන අතර ඒ සඳහා රුපියල් 75,260,648ක මුදලක් වැයවී ඇති බව සඳහන් වුණා.
විශේෂයෙන්ම හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ධුරය දැරූ 2023 වසරේදී මාසික සාමාන්‍යය ලීටර් 3,994ක් වන පරිදි ඉන්ධන ලීටර් 47,926ක් සහ 2024 වසරේදී මාසික සාමාන්‍යය ලීටර් 6,122ක් වන පරිදි ඉන්ධන ලීටර් 73,461ක් කථානායක කාර්යාලය වෙත ලබාගෙන ඇති බව සඳහන් වනවා.
2022 වසරට සාපේක්ෂව කථානායක කාර්යාලයේ මාසික ඉන්ධන පරිභෝජනය 2023 වසරේදී 66%කින්ද, 2024 වසරේදී 155%කින්ද ලෙස අතිවිශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන විගණකාධිපති වාර්තාව, එම ඉහළ යාම ගැටලු සහගත හා ප්‍රශ්නකාරී තත්ත්වයක් ලෙස නිරීක්ෂණය කර තිබුණා.
