නම වෙනස් කළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න විකල්ප නීතිමය මාර්ග සොයන බව ඇමති කියයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙරට අධිකරණය හමුවේ පෙනී සිටීම මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමට නීතිමය බාධා මතුව ඇති බැවින් ඔහුව මෙරටට ගෙන ඒම සඳහා වෙනත් විකල්ප නීතිමය මාර්ග කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කලළේ, සිංගප්පූරු පුරවැසිභාවය හිමි අර්ජුන මහේන්ද්‍රන් එරට පදිංචිව සිටින බවත් එරට පවතින නීතිමය රාමුවට අනුව එරට පුරවැසියෙකු වෙනත් රටකට භාරදීමේදී සීමාවන් පවතින බවයි.

කෙසේ වෙතත් මෙවැනි තත්ත්වයන් හමුවේ ක්‍රියාත්මක කළ හැකි විවිධ උපක්‍රම හා ක්‍රමවේද පවතින බැවින් ඔහුව නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික හා නීතිමය පියවර අඛණ්ඩව ගනිමින් සිටින බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

එමෙන්ම බැඳුම්කර නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, එමගින් ඉදිරියේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බවත් වැඩිදුරටත් කියා සිටියා.

අමාත්‍යවරයා පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවලට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය නීත්‍යනුකූල නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කරගෙන ඇති බවයි.

ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් සමඟ ඔහු මෙම පියවර ගෙන ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළා.

2015 වසරේදී සිදුවූ මෙම මහ බැංකු බැඳුම්කර නිකුතුව මඟින් රජයට රුපියල් බිලියන 10 කට අධික මූල්‍ය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පනවා ඇති නඩුව, ලබන ඔක්තෝබර් 30 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබෙනවා.

අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුව සිතාසි ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබුණා.

බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශනවලට පෙනී නොසිට රටින් පළාගොස් සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණ නියෝග මත ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කර තිබුණා.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිටු 21,000කට අධික උදර්පණ ඉල්ලීම් ලිපිගොනුවක් සිංගප්පූරු රජය වෙත මීට පෙර භාර දෙනු ලැබූ අතර එරට පුරවැසිභාවය සහ නීතිමය සංකීර්ණතා හේතුවෙන් එම ක්‍රියාවලිය ප්‍රමාද වුණා.

ජාත්‍යන්තර වශයෙන් පනවා තිබූ නීතිමය පියවර හා ගමන් තහනම් මඟහැරීමේ අරමුණින් අර්ජුන මහේන්ද්‍රන් සිය නම නිල වශයෙන් වෙනස් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කිරීමත් සමඟ එය දැඩි දේශපාලනික හා සමාජයීය කතාබහට ලක්වුණා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading