ඊශ්‍රායලයට රැකියා සඳහා පසුගිය රජය සමයේ යැවීමේදී තමන්ට දේශපාලනිකව හිතවත් පුද්ගලයින් තෝරා යැවීම මගින් දූෂණය නැමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන අවසන් බැවින් ඔහු පිළිබඳ ගනු ලබන ඉදිරි පියවර දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉල්ලා ඇත.
එම කොමිසම එසේ ඉල්ලා ඇත්තේ අද (අගෝස්තු 28) එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරින් අධිකරණයට දැනුම් දී ඇත්තේ මනූෂ නානායක්කාර මහතා සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් කර එම ගොනු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ කොමසාරිස්වරුන් වෙත බාරදී ඇති බවයි.
ඒ අනුව එම නඩුව දෙසැම්බර් 18 වැනිදා නැවත කැඳවීමට නියම කර ඇත.
