විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට සහ විනිසුරුවරු සංඛ්‍යාව වැඩි කිරීමට යෝජනා කර ඇති සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ශ්‍රී ලංකා රජය පවසා තිබේ.
විනිසුරුවරුන්ගේ සහ නිතීඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මාර්ගට් සැටර්ත්වේට් විසින් නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා රජය සිය නිල මතය ප්‍රකාශ කර තිබේ.
විශේෂ නියෝජිතවරිය සඳහන් කර ඇත්තේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම සඳහා යෝජනා කර ඇති සංශෝධන මගින් දැනට සිටින විනිසුරුවරුන්ගේද විශ්‍රාම වයස දීර්ඝ වන බවය.
එහිදී ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇත්තේ මෙය විධායකයේ බලපෑමකින් තොරව සිදුවන්නක් බවය.
මෙම සංශොධනවල ප්‍රධාන අරමුණ වන්නේ අධිකරණවල අධික ලෙස නඩු ගොඩගැසීම සහ ප්‍රමාදයන් අවම කිරීම බවද අදාළ ලිපියේ දැක්වේ.
2026 අගෝස්තු 07 වන දින ගැසට් කරන ලදුව අගෝස්තු 18 වන දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත හරහා මෙම වෙනස්කම් යෝජනා කර ඇති බව රජය පෙන්වා දෙයි. එමගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද ඉහළ නැංවීමට යෝජිතය. අගවිනිසුරුවරයාගේ විශ්‍රාම ගැන්වීම වයස අවුරුදු 67 සම්පූර්ණ වීම හෝ පත්වීමෙන් වසර හයක් සම්පූර්ණ වීම යන දෙකින් කුමක් පළමුව සිදුවේද ඒ අනුව තීරණය වනු ඇති බව ද එහි සඳහන් වේ. තවද අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත.
මීට සමගාමීව අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වා ද, සෙසු සියලුම විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ද ඉහළ නැංවීමට යෝජිත අතර මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබේ.
මෙම සංශෝධන කිසිදු ආකාරයකින් යම් නිශ්චිත විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් හෝ අධිකරණයේ සංයුතිය වෙනස් කිරීමේ ක්ෂණික අරමුණින් ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. ජනතාවට යුක්තිය ඉටුකර ගැනීමේ ප්‍රවේශය පුළුල් කිරීම, අභියාචනාධිකරණ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම සහ විනිසුරුවරුන්ගේ ප්‍රායෝගික පළපුරුද්ද තවදුරටත් රඳවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණු බව එම ලිපියෙහි වැඩිදුරටත් දැක්වේ. විශේෂයෙන්ම දැනට සේවයේ නියුතු විනිසුරුවරුන් සඳහා ද මෙම විශ්‍රාම වයස අදාළ කිරීම මගින් අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද රජය පෙන්වා දෙයි.
මෙය ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (ICCPR) ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට කිසිසේත්ම පටහැනි නොවන බව රජයේ ස්ථාවරය වී තිබේ.
මෙම පනත් කෙටුම්පත් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති ධුරයේ සුරක්ෂිතභාවයට කිසිදු බලපෑමක් නොවන බවත්, විධායකයට කිසිදු නඩුවක තීන්දුවකට බලපෑම් කිරීමට හෝ විනිසුරුවරුන් ඉවත් කිරීමට ඉන් ඉඩක් නොලැබෙන බවත් ජිනීවා නුවර පිහිටි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යොමු කළ අදාළ පිළිතුරු ලිපියේ සඳහන් කර ඇත. එසේම මෙම පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම පුරවැසියෙකුට අවස්ථාව ඇති බවත්, මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පෙත්සම් කිහිපයක් ගොනු කර ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයකට රජය ගරු කරන බවත් එහි අවධාරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105, 107, 108, 111 සහ 111C වැනි ව්‍යවස්ථාවන් මගින් සහ ව්‍යවස්ථාදායක සභාව මෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා ද අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන දැනටමත් පවතින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා රජය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වෙත යවන ලද පිළිතුරෙහි වැඩිදුරටත් දක්වා ඇත.
