ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් නිධි ප්‍රයෝජනයට ගැනීමට රජය මේ දිනවල සූදානම් වන අතර ඒ සදහා අභිලාෂ කැදවීම් සිදු කර තිබේ. බැලූ බැල්මට ආර්ථිකයට සුභදායක පුවතක් වන මේ පිළිබද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා වැදගත් අදහස් කිහිපයක් පළ කළේය.
අප උත්සාහ කරන්නේ ඔහු කළ අදහස් දැක්වීම සහ මෙම ද්‍රෝණිය පිළිබද වැදගත් කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කිරිමය.

මෙම විෂය ක්ෂේත්රය පිළිබඳව මෙරට ඇති ඉතිහාසය ඔහු සිහිපත් කළේය. “ඇත්තෙන්ම මේ විෂය භූ තාක්ෂණික පෙට්‍රෝලියම් ජියොලොජි කියන විෂය ලංකාවේ උගන්වන ප්‍රධානම ආයතනය තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශය,” යැයි මහාචාර්යවරයා පැවසීය.
මේ සඳහා ජාත්‍යන්තරයේ අවධානය යොමුවූ අයුරුද ඔහු විස්තර කළේය. “මම දෙදහස, දෙදහස් එක දී නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ ඔවුන්ගේ අවසාන වාර්තාව භාර දෙන්න.”
මෙරට තෙල් නිධි පිළිබඳව තමාට මුලින්ම දැනගන්නට ලැබුණු ආකාරය ඔහු පැහැදිලි කළේය. “නෝපෙක් ආයතනයෙන් ගත්ත දත්ත විශ්ලේෂණය කරලා වාර්තාව භාර දෙන්න ආව මයිකල් කැට්ස් කියන මහාචාර්යවරයා මට කිව්වා අපේ ලංකාවට විශාල තෙල් නිධි තියෙන බව දැන් වාර්තා වෙනවා කියලා.” ඒ අනුව අලුත් පාඨමාලාවක් ආරම්භ කිරීමට යෝජනා වූ බවද හෙතෙම සඳහන් කළේය. “ඒ නිසා විශ්වවිද්‍යාලයේ පෙට්‍රෝලියම් ජියොලොජි ගැන අලුත් කෝස් යුනිට් එකක් පටන් ගන්න කියලා මගෙන් ඉල්ලා සිටියා.”
ඒ අනුව වර්ෂ දෙදහස් එකේදී මෙම විෂය ඉගැන්වීම ආරම්භ කර තිබේ. “අද වෙනකොට අපි අවුරුදු විසි හයක් තිස්සේ මේ විෂයෙන් අපේ ශිෂ්‍යයින් සන්නද්ධ කරලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අවශ්‍ය භූ විද්‍යාඥයින් දැනට ඉන්නවා පෙට්‍රෝලියම් තාක්ෂණය සඳහා,” යැයි මහාචාර්යවරයා අභිමානයෙන් ප්‍රකාශ කළේය. රජය පෙට්‍රෝලියම් ලිං හෑරීමට පටන් ගත් විට ඊට අවශ්‍ය තාක්ෂණික නිලධාරීන් පිරිසක් මේ වන විටත් රට තුළ බිහි කර අවසන් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු පිළිබඳව ඔහු මහත් බලාපොරොත්තු සහගත විය. “ගවේෂණ ලිං හතරක් හාරලා ඒ හතරෙන් දෙකකම ඉතා හොඳ ගෑස් නිධි දෙකක් වාර්තා වුණා,” ඔහු පැහැදිලි කළේය. ලෝක මට්ටමේ සාර්ථකත්වය සමඟ මෙය සසඳමින් ඔහු මෙසේ ද කීවේය. “සාමාන්‍යයෙන් ලෝකයේ පෙට්‍රෝලියම් ගවේෂණ ලිං විස්සක් විසිපහක් හෑරුවාම දෙක තුනකින් තමයි සාර්ථකයි කියලා වාර්තා වෙන්නේ. නමුත් මෙතැනදී සියයට පනහක ඉතා හොඳ වාර්තාවක් අපිට ලැබුණා.”
මෙම සම්පත් මන්නාරමට පමණක් සීමා නොවන බව ඔහු අවධාරණය කළේය. “මන්නාරම් ද්‍රෝණියේ දකුණු ප්‍රදේශයේ පානදුර දක්වා විතර තියෙන ප්‍රදේශවල පෙට්‍රෝලියම් තියෙන බවටත් මේ වාර්තාවල සඳහන් වුණා.” ඒ අනුව ඉදිරි පියවර ගැන ඔහුට පැහැදිලි දැක්මක් තිබුණි. “ඒ නිසා ඉදිරියේදී ගවේෂණ ලිං හෑරුවොත් දකුණට වෙන්න ගැඹුරු මුහුදේ ඇත්තෙන්ම අපිට පෙට්‍රෝලියම් ලබාගන්න පුළුවන්. ඒ සඳහා රජයේ මැදිහත්වීම තමයි අපිට අවශ්‍ය.”

අතීත ගවේෂණ වලදී වූ අඩුපාඩු ද ඔහු පෙන්වා දුන්නේය. “හැත්තෑව ගණන්වල පෙට්‍රෝලියම් තිබුණ බව හම්බවුණා. නමුත් මීටර් හත්සියයකට වඩා හාරලා තිබුණේ නෑ.” කෙසේ වෙතත් මෑතකදී කළ ගවේෂණ ඊට වඩා සාර්ථක වී ඇත. “දෙදහස ගණන්වල හාරපු ඒ ලිං වල ගැඹුර අපි අවශ්‍ය ගැඹුර ඉක්මවා ගියා. ඒ ගැඹුරෙදි අපිට අවුරුදු මිලියන ගාණක් පරණ ලාවා තට්ටු වලින් යට වෙච්ච වැහිලා ට්‍රැප් වෙලා තිබුණ ගෑස් නිධි අපිට ලැබුණා.”
මෙම නිධි කොතරම් ගැඹුරක ඇත්දැයි ඔහු නිශ්චිතව පැවසීය. “මීටර තුන්දහසක විතර ගැඹුරින් පහළ තමයි මේ ගෑස් නිධි හම්බවෙන්නේ. නමුත් ඒ ගැඹුර ඒ තරම් ලොකු ගැඹුරක් නෙවෙයි මේ පෙට්‍රෝලියම් සංවර්ධන කටයුතු වලදී.” අවසාන වශයෙන් ඔහු රටේ ආර්ථිකය ගැන සුබවාදී අදහසක් පළ කළේය. “මේ ඇත්තටම කාලෝචිත පියවරක් රජයෙන් ගන්නේ. පිටරටින් ගෙන්නන ගෑස් වෙනුවට අපේ රටේම ආදේශකයක් තියෙනවා. අපිට හොඳ ආර්ථිකයේ හොඳ පිම්මක් පනින්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.”
මෙම ගවේෂණ සාර්ථක වුවහොත්, එය දකුණු ආසියානු කලාපයේ භූ දේශපාලනික, ආර්ථික සහ පාරිසරික සමතුලිතතාවය වෙනස් කළ හැකි දැවැන්ත සන්ධිස්ථානයක් බව පැහැදිලි වේ.
වසර ගණනාවක් පුරා විවිධ බාධක සහ අසාර්ථකවීම් මධ්‍යයේ යටපත්ව තිබූ මෙම සිහිනය, දෙදහස් විසි හය වසරේ අගෝස්තු මස විසි පස් වන දින නිල වශයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා බලපත්‍ර ලබා දීමේ වටයහරහා නැවතත් කරළියට පැමිණ තිබේ. ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය හරහා, මන්නාරම් ද්‍රෝණියේ පිහිටි වර්ග කිලෝමීටර තිස් හතර දහසකට ආසන්න අතිවිශාල මුහුදු කලාපයක් ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත ගවේෂණය සඳහා විවෘත කර ඇත. මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති අනාගතය යළි ලියැවෙන තීරණාත්මක මොහොතකි.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කර ඇත්තේ, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරගනිමින්, කිසිදු දේශපාලනික හෝ බාහිර බලපෑමකින් තොරව මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට රජය දැඩිව අධිෂ්ඨාන කරගෙන සිටින බවය. එහෙත් මෙවැනි කොන්ත්‍රාත්තුවලට ඇගිලි ගසන පාර්ශ්ව ගැන අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ගල් අගුරු කොන්ත්‍රාත්තුව ලංකාවට අදාලව ගත්තේ ඉතා දූෂිත රෙඩ්ඩ් පවුලය. එයින් ඇති වූ විවාදය අමුතුවෙන් කිව යුතු නැත. රජය කුමන විනිදිවිදභාවයෙන් කටයුතු කළත් මෙවැනි කටයුතුවල යෙදෙන සමාගම් අපට සීයට සීයක් විශ්වාසය තැබිය නොහැකි ඒවාය.
මෙම නව බලපත්‍ර වටය යටතේ ගවේෂණ කොටස් (කුට්ටි) හතරක් ආයෝජකයන් වෙත ලබා දීමට නියමිතය. ඒ අනුව, වර්ග කිලෝමීටර පන්දහස් නවසිය හතළිස් අටකින් යුත් පළමු කුට්ටිය ද, වර්ග කිලෝමීටර පන්දහස් හයසිය අසූ නවයකින් යුත් දෙවන කුට්ටිය ද, වර්ග කිලෝමීටර දසදහස් පන්සිය අනූ හතකින් යුත් තෙවන කුට්ටිය ද, සහ වර්ග කිලෝමීටර එකොළොස් දහස් හත්සිය විසි අටකින් යුත් දැවැන්ත සිව්වන කුට්ටිය ද මෙලෙස ගවේෂණය සඳහා විවෘත කර තිබේ. මෙම කුට්ටි මීටර සියයේ සිට මීටර තුන්දහසක් දක්වා වූ විවිධ සාගර ගැඹුරු මට්ටම්වල පැතිර පවතින අතර, එය ජාත්‍යන්තර ආයෝජකයන්ට අභියෝගාත්මක මෙන්ම ඉහළ ප්රතිලාභ ගෙන දිය හැකි අවස්ථාවක් බව තහවුරු කරයි.
මන්නාරම් ද්‍රෝණිය යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පිහිටි ඓතිහාසික භූ විද්‍යාත්මක පැල්මක් හෙවත් intra-cratonic failed rift එකකි.
ගොන්ඩ්වානා මහද්වීපය කැඩී වෙන්වීමේ ක්‍රියාවලියේදී අප්‍රිකාවෙන් ඉන්දියාව වෙන්වීමත් සමඟ මීට වසර මිලියන එකසිය තිස් හතරකට පමණ පෙර මෙම ද්‍රෝණිය නිර්මාණය වීම ආරම්භ වී ඇති බව භූ විද්‍යාඥයින් විශ්වාස කරති. මෙහි ඛනිජ තෙල් සහ ගෑස් නිර්මාණය වීම සඳහා අවශ්‍ය මූලික පාෂාණ හෙවත් Source rocks පිළිබඳව මනා සාක්ෂි පවතී. විශේෂයෙන්ම ජුරාසික් යුගයට අයත් මහාද්වීපික සහ විල් ආශ්‍රිතව තැන්පත් වූ කාබනික ශාක ද්‍රව්‍යවලින් සමන්විත Type III kerogen අඩංගු පාෂාණ මෙම ද්‍රෝණියේ ගැඹුරේ පවතින බවට විශ්වාස කෙරේ. ඊට අමතරව, මන්නාරම් ද්‍රෝණියට උතුරින් පිහිටි පේසාලි-1 ළිඳෙන් සොයාගත් පරිදි, ඇල්බියන් යුගයට අයත් සමුද්‍රීය Type II kerogen අඩංගු පාෂාණ මෙන්ම, මෑතකදී හෑරූ ඩොරාඩෝ සහ බැරකුඩා ළිං මගින් තහවුරු වූ පරිදි කැම්පේනියන්-මාස්ට්රිච්ටියන් යුගයට අයත් මූල පාෂාණ ද මෙහි පවතී. මෙම පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ පවතින දැඩි උෂ්ණත්වය සහ පීඩනය හේතුවෙන් තෙල් සහ වායු බවට පරිවර්තනය වීමේ අවධීන් (oil window and gas window) පසු කර ඇති බව ද්‍රෝණි ආකෘතිකරණ (basin modelling) අධ්‍යයන මගින් තහවුරු කර ඇත.
නිර්මාණය වූ මෙම හයිඩ්‍රොකාබන ගබඩා වී පවතින්නේ කෙසේද යන්න ද ඉතා වැදගත් වේ. ඉහළ ක්‍රිටේසියස් යුගයට අයත් වැලිගල් (sandstones), මුහුදු පත්ලේ ඇති වූ අතිවිශාල පංකා (submarine fans) සහ සාගර නාලිකා පද්ධති මෙහි ප්‍රධාන ජලාශ පාෂාණ (reservoir rocks) ලෙස ක්‍රියා කරයි. පෙර සඳහන් කළ ඩොරාඩෝ සහ බැරකුඩා ගවේෂණ ළිං වලින් මෙම වැලිගල් ස්ථරවල ඉතා ඉහළ තත්ත්වයේ ගෑස් සහ කන්ඩෙන්සේට් (condensate) පවතින බව සනාථ වී තිබීම මෙම ද්‍රෝණියේ ඛනිජ තෙල් පද්ධතියක් (working petroleum system) සක්‍රීයව පවතින බවට ඇති හොඳම විද්‍යාත්මක සාක්ෂියයි.
මහාචාර්ය සේනාරත්න පෙන්වා දෙන පරිදි, ලෝකයේ සාමාන්‍යයෙන් ගවේෂණ ළිං විස්සක් හෝ විසිපහක් හෑරූ විට සාර්ථක වන්නේ ළිං දෙකක් හෝ තුනක් පමණක් වුවද, ශ්‍රී ලංකාවේ මෙතෙක් හාරා ඇති ළිං හතරෙන් දෙකකම සාර්ථක ප්‍රතිඵල ලැබීම සියයට පනහක අතිවිශාල සාර්ථකත්ව අනුපාතයකි. මෙය ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ඇස් අරවන සුළු කාරණාවකි.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ව්‍යාපෘතියේ ආර්ථිකමය බලපෑම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින සහ ණය බරින් මිරිකී සිටින රටකට ජීව වායුවක් බඳුය. හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දෙදහස් විසි එක වසරේදී පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට අනුව, මන්නාරම් ද්‍රෝණියේ ඩොලර් බිලියන දෙසිය හැට හතක් පමණ වටිනා තෙල් සහ ගෑස් සම්පත් සැඟවී පවතින අතර, එයින් රටේ සමස්ත ණය බර මෙන් තුන් ගුණයක් පියවා ගැනීමේ හැකියාව පවතී. දළ වශයෙන් තෙල් බැරල් බිලියන දෙකක් සහ ස්වභාවික ගෑස් ඝන අඩි ට්‍රිලියන නවයක් පමණ මෙහි ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
රජය සහ ආයෝජකයන් අතර ලාභය බෙදී යන ආකාරය ශ්‍රී ලංකාවට අතිශයින්ම වාසිදායක ලෙස සකස් කර ඇත. දෛනික නිෂ්පාදනය ඉහළ යන විට රජයට හිමිවන ලාභ ප්‍රතිශතය ද ඉහළ යන පියවර ක්‍රමවේදයක් (Step Rate Method) මෙහි හඳුන්වා දී තිබේ. එසේම, ගවේෂණ වියදම් පියවා ගැනීම සඳහා සමාගම්වලට ලබාගත හැකි උපරිම ඛනිජ තෙල් ප්‍රතිශතය සියයට අසූවකට (80%) සීමා කර ඇති අතර, ඛනිජ තෙල් සම්පත් සඳහා ගෙවිය යුතු රෝයල්ටි (Royalty) මුදල් ද දෛනික නිෂ්පාදනය මත පදනම්ව ගණනය කෙරේ. මීට අමතරව ඩොලර් ලක්ෂ පහක අවම අත්සන් කිරීමේ ප්‍රසාද දීමනාවක් (Signature Bonus) සහ නිෂ්පාදන ප්‍රසාද දීමනා (Production Bonus) ද රජයට හිමිවනු ඇත.
බැලූ බැල්මට මේවා ඉතා සුභදායක කතාය.
ආර්ථික ප්‍රතිලාභවලට අමතරව, දේශීය අන්තර්ගතය (Local Content) නංවාලීම පිළිබඳව ද රජය දැඩි අවධානයක් යොමු කර තිබේ. ගිවිසුමට අනුව, ආයෝජකයන් විසින් දේශීය ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා ලබා දීම, ඔවුන් පුහුණු කිරීම, දේශීය ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සහ තාක්ෂණය හුවමාරු කිරීම අනිවාර්ය කර ඇත. මෙමගින් ශ්‍රී ලංකාව තුළ නවීන තාක්ෂණයෙන් යුත් බලශක්ති කර්මාන්තයක් ස්ථාපිත වන අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් බිහිවන මහාචාර්ය සේනාරත්න සඳහන් කළ දේශීය භූ විද්‍යාඥයින්ට සහ ඉංජිනේරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා සියරටේදීම හිමිවනු ඇත.
කෙසේ වෙතත්, මෙවැනි ව්‍යාපෘතියකදී අප කිසිවිටෙකත් පාරිසරික අවදානම සුළුකොට තැකිය යුතු නැත. මීටර තුන්දහසක් දක්වා වූ අතිශය ගැඹුරු මුහුදේ (Deep Water Area) සිදුකරන කැණීම් අතිශය සංකීර්ණ සහ අනතුරුදායක ක්‍රියාවලියකි. මෙවැනි ගැඹුරකදී සිදුවන සුළු තාක්ෂණික දෝෂයක් වුවද දැවැන්ත තෙල් කාන්දුවක් බවට පත්වී සමස්ත සාගර පරිසර පද්ධතියම විනාශ මුඛයට ඇද දැමිය හැකිය.
නව ගිවිසුම් රාමුව තුළ මෙම අවදානම් කළමනාකරණය කිරීම සඳහා ඉතා දැඩි කොන්දේසි පනවා ඇත. ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර සවිස්තරාත්මක පාරිසරික බලපෑම් තක්සේරුවක් (EIA) සිදුකිරීම අනිවාර්ය වන අතර, වනජීවී සහ වාසස්ථාන ආරක්ෂා කිරීම, ඝන සහ ද්‍රව අපද්‍රව්‍ය බැහැර කිරීමේ නිසි ක්‍රමවේද, සහ හදිසි තෙල් කාන්දුවීම්වලදී ක්‍රියාත්මක විය යුතු ක්ෂණික ප්‍රතිචාර සැලසුම් (blowout prevention and oil spill contingency plans) ආයෝජකයන් විසින් අනිවාර්යයෙන්ම සකස් කළ යුතුය. එපමණක් නොව, ව්‍යාපෘතිය අවසන් වූ පසු ළිං වසා දැමීම සහ යන්ත්‍රෝපකරණ ඉවත් කර පරිසරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘අතහැර දැමීමේ අරමුදලක්’ (Abandonment Fund) නිර්මාණය කිරීමද ගිවිසුමෙන් අනිවාර්ය කර තිබීම පැසසිය යුතු කරුණකි.
මෙම සමස්ත ක්‍රියාවලියේ දේශපාලනික සහ භූ දේශපාලනික පසුබිම ද ඉතා සංකීර්ණය. දෙදහස් හත වසරේදී ශ්‍රී ලංකාව පළමු වරට ගවේෂණ කුට්ටි ලබා දීමේදී ඒවා ඉන්දියාවට සහ චීනයට නාමයෝජනා පදනමින් (nomination basis) ලබා දෙන ලදී. එය පැහැදිලිවම කලාපීය බලවතුන් සතුටු කිරීමේ දේශපාලනික උපාය මාර්ගයක් විය. නමුත් මෙවර පවතින නව රජය එම සම්ප්‍රදායෙන් බැහැරව, කිසිදු රටකට විශේෂ වරප්‍රසාද ලබා නොදී, විවෘත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියක් හරහා සියලුම ගෝලීය සමාගම්වලට තරඟ කිරීමට ඉඩ සලසා දී තිබේ.
එහෙත් සැබෑ ප්රශ්නය මෙම විවෘත භාවය ඇත්තම විවෘත භාවයක්ද, නැත්නම් ප්‍රදර්ශනාත්මක දෙයක්ද යන්නය. තමාගේ රට ආසන්නයේ චීනයෙන් ෆොසිල කණිනවාට ඉන්දියාව කැමති වේවිද? මෙය අන්තිමේදී අවට බලවතුන්ගේ වුවමනා හා සමපාත වෙමින් සිදු කරන්නට වෙන ව්‍යාපෘතියකි.
පසුබිම් කතාවක්ද කිව යුතුය. අතීතයේදී කේන් ඉන්ඩියා (Cairn India) සමාගම ගෑස් සොයාගැනීම් සිදු කළද, යටිතල පහසුකම් නොමැතිකම සහ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ මිල උච්චාවචනයන් හේතුවෙන් දෙදහස් පහළොව වසරේදී රටින් පිටව ගියේය.
අවසාන වශයෙන් සාරාංශ කර බලන කල, මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ගවේෂණය යනු ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකයකි. මහාචාර්ය අතුල සේනාරත්න මහතා නිවැරදිව පෙන්වා දුන් පරිදිම, ගවේෂණ ලිං හතරෙන් දෙකක්ම සාර්ථක වීම හරහා අප සතුව ඇති සම්පතේ විශාලත්වය ලොවටම ඔප්පු වී අවසන්ය. දැන් අවශ්‍ය වන්නේ නිසි දේශපාලනික නායකත්වයක්, විනිවිදභාවයෙන් යුත් පරිපාලනයක් සහ දැඩි පාරිසරික සුරක්ෂිතතාවයක් මත පදනම්ව මෙම සම්පත් මහපොළොවෙන් උකහාගෙන ජාතියේ සෞභාග්‍යය උදෙසා යෙදවීමයි.
