මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම් හිතාමතා සහ ද්වේෂසහගතව අපහාසයට ලක්කිරීමේ චෝදනා දෙකකට වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර කොළඹ මහාධිකරණය මඟින් නියම කර තිබූ වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (නොවැම්බර් 18) තහවුරු කළේය.
මෙම තීන්දුවේ විශේෂත්වය වන්නේ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රකාශවල නීතිමය වරද පිළිබඳව පමණක් නොව, භික්ෂුවකගෙන් සමාජය බලාපොරොත්තු වන හැසිරීම, බුදු දහමේ අවිහිංසාවාදී මූලධර්ම සහ අන්‍යාගමිකයන්ට ගරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කර තිබීමයි.
මෙම තීන්දුවේ විශේෂත්වය වන්නේ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රකාශවල නීතිමය වරද පිළිබඳව පමණක් නොව, භික්ෂුවකගෙන් සමාජය බලාපොරොත්තු වන හැසිරීම, බුදු දහමේ අවිහිංසාවාදී මූලධර්ම සහ අන්‍යාගමිකයන්ට ගරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධාරණය කර තිබීමයි.
ඥානසාර කළ ප්‍රකාශය
මෙම නඩුවට පදනම් වූයේ 2016 නොවැම්බර් 01 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල පූජා භූමිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකි. එම මාධ්‍ය සාකච්ඡාවේදී කූරගල ඓතිහාසික වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ඔහු, මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගමික විශ්වාසයන් පිළිබඳව ද අපහාසාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකර තිබිණි.
නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා දෙකක් යටතේ නඩු කර ඇත්තේ එම ප්‍රකාශවල වෙනස් කොටස් දෙකක් පදනම් කරගනිමිනි. පළමු චෝදනාවට පදනම් වී ඇත්තේ, ප්රකාශයේදී කූරගල ඓතිහාසික ස්ථානයක් බවත්, එය මුස්ලිම්වරුන් විසින් අත්පත් කරගෙන ඇති බවත් ප්‍රකාශ කළ ඥානසාර ඉස්ලාම් ආගමික විශ්වාසය සම්බන්ධයෙන් අපහාසාත්මක වචන භාවිත කර තිබීමයි.
එහිදී ඔහු කළ ප්‍රකාශයෙන් කොටසක් අධිකරණ තීන්දුවේ මෙසේ උපුටා දක්වා තිබේ.
“දෙවියෙක් ඇත්තෙත් නෑ. ඒ දෙයියගේ මුහුණකුත් නෑ. ඉතින් අපි අහන්නේ මොන ලබ්බක්ද පෙන්නන්නේ”
දෙවැනි චෝදනාවට පදනම් වී ඇත්තේ, අල්ලාහ් දෙවියන් සම්බන්ධයෙන් සිදුකර තිබූ තවත් අපහාසාත්මක ප්‍රකාශයකි. එහිදී අල්ලාහ් දෙවියන් බූවල්ලෙකුට සමාන කරමින් සහ ශරීර කෘත්‍යයන් පිළිබඳ අවමන්සහගත උපමා යොදාගනිමින් ඥානසාර හිමියන් ප්‍රකාශයක් කර තිබූ බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ.
එම ප්‍රකාශ අවසානයේ ඔහු පවසා තිබුණේ,
“ඒ නිසා මේ මිත්‍යාවට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ” යනුවෙනි.
ගලගොඩඅත්තේ ඥානසාර මෙම ප්‍රකාශ සිදුකළ බවට නඩුවේදී විවාදයක් නොතිබූ අතර මහාධිකරණය හමුවේ විත්තිකූඩුවේ සිට කළ ප්රකාශයේදී අදාළ වචන තමන් භාවිත කළ බව ඔහු පිළිගෙන තිබිණි. එහෙත්, මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම්වලට හානි කිරීමේ චේතනාවක් තමන්ට නොතිබුණු බව ඔහු ප්‍රකාශ කර ඇති අතර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව සහ පසුතැවිල්ල ද පළකර තිබිණි.
නඩුව ආරම්භ වූයේ කෙසේද?
ගලගොඩඅත්තේ ඥානසාරගේ ප්‍රකාශ සම්බන්ධයෙන් එවකට දේශපාලන ක්‍රියාකාරීන් වූ අසාද් සාලි සහ එම්. ආර්. රහුමාන් විසින් සිදුකළ පැමිණිලි අනුව ඊට අදාළ විමර්ශන ආරම්භ වී ඇත. ඒ අනුව නඩුවේ පළමු සහ දෙවැනි පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වූ ඔවුන් දෙදෙනා අදාළ ප්‍රකාශ මඟින් ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයන්ට අපහාසයක් සිදුවූ බව සාක්ෂි දෙමින් පවසා තිබේ.
එසේම මෙම සිද්ධියට පාදක වන 2016 නොවැම්බර් 01 වැනිදා පැවැති සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව නඩුවේ P1 සාක්ෂි ලේඛනය ලෙස ඉදිරිපත් කර තිබිණි.
එම මාධ්‍ය සාකච්ඡාව හිරු පෞද්ගලික රූපවාහිනියෙන් ආවරණය කර විකාශය කළ බව තහවුරු කිරීමට හිරු මාධ්‍ය ජාලයේ අධ්යක්ෂවරයකු ලෙස හඳුන්වා ඇති හෙට්ටිආරච්චි මහතා සහ එහි වාර්තාකරුවකු වූ චතුරංග මහතා සාක්ෂි ලබාදී තිබේ.
ඒ අනුව නීතිපතිවරයා ඥානසාරට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගන්තිය යටතේය. මෙම වගන්තියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකෙන්නේ යම් ජන කොට්ඨාසයක ආගමික හැඟීම් අපහාසයට ලක්කිරීමේ හිතාමතා සහ ද්වේෂසහගත චේතනාවෙන් එම ජන කොට්ඨාසයේ ආගමට හෝ ආගමික විශ්වාසයන්ට වචන, ලිඛිත ප්‍රකාශ හෝ දෘශ්‍ය නිරූපණ මඟින් අපහාස කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීමය.
කොළඹ මහාධිකරණයේ HC/1948/2020 නඩුව විභාග කිරීමෙන් පසු එවකට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් 2024 මාර්තු 28 වැනිදා ගලගොඩඅත්තේ ඥානසාර චෝදනා දෙකටම වරදකරු කළ අතර එහිදී එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් සිරදඬුවම් දෙකක් නියම කෙරිණි. එසේම එම සිරදඬුවම් දෙක එකවර නොව එකකට පසුව අනෙක ක්‍රියාත්මක විය යුතු බව ද මහාධිකරණය නියෝග කළ අතර ඒ අනුව මුළු සිරදඬුවම වසර හතරකි.
ඊට අමතරව එක් චෝදනාවකට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කෙරිණු අතර දඩ මුදල නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ. අනතුරුව මෙම වරදකරු කිරීම සහ දඬුවම අභියෝගයට ලක්කරමින්, එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් සිදු කරන ලදී.
ගලගොඩඅත්තේ ඥානසාරගේ අභියාචනයේ ප්‍රධාන තර්කය
මෙම අභියාචනයේදී ගලගොඩඅත්තේ ඥානසාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා, ඉරේෂ් සෙනවිරත්න, සංජය ආරියදාස, සරිත් වඩුගෙදර, අංජන අබේරත්න සහ අවින්ද්‍ර සිල්වා යන නීතිඥවරුන් පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිෂ්ණා වර්ණකුල මහත්මිය පෙනී සිටියාය.
ගලගොඩඅත්තේ ඥානසාරගේ නීතිඥයන්ගේ මූලික තර්කය වූයේ ඔහුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන නීතිමය ප්රශ්නය වූයේ, ආගමකට අපහාසයක් වන වචන ප්‍රකාශ කිරීම පමණක් දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගන්තිය යටතේ වරදකරුවකු කිරීමට ප්‍රමාණවත් ද යන්නයි. එසේම ආගමකට අපහාසයක් සිදුවූ බව පමණක් නොව, එම අපහාසය හිතාමතා සහ ද්වේෂසහගත චේතනාවෙන් සිදුකළ බව ද පැමිණිල්ල ඔප්පු කළ යුතු බව විත්තිය තර්ක කළේය.
එහිදී වැදගත් නීතිමය මූලධර්මයක් ලෙස Penal Law of India කෘතියේ සඳහන් අදහසක් උපුටා දක්වා තිබේ. එම මූලධර්මය අනුව ක්‍රියාවක් හිතාමතා සිදුකළ පමණින් එය ද්වේෂසහගත නොවිය හැකිය. එසේම අවිචාරවත් ක්‍රියාවක් ද්වේෂසහගත ස්වභාවයක් දැරුවත් එය හිතාමතා සැලසුම් කළ ක්‍රියාවක් නොවිය හැකිය.
මෙම වරද සම්පූර්ණ වීමට අවශ්‍ය වන්නේ එම ලක්ෂණ දෙකම පැවතීමයි. ඉංග්‍රීසි නීති සාහිත්‍යයේ මෙය විස්තර කර ඇත්තේ cold calculated and malicious lampoon on a religion යනුවෙනි. එහි අදහස වන්නේ ආගමකට එරෙහිව සීතල සිතින්, සැලසුම්සහගතව සහ ද්වේෂයෙන් සිදුකරන අවමන්සහගත උපහාසයක් වැනි ප්‍රකාශයක් බවයි. නීතිඥයන් තර්ක කළේ අදාළ ප්‍රකාශ උපරිම වශයෙන් අවිචාරවත් ලෙස සිදුකළ ප්‍රකාශ ලෙස සැලකිය හැකි නමුත්, ඒවා සැලසුම්සහගත ද්වේශ සහගත අපහාස ලෙස තහවුරු වී නොමැති බවයි.
විත්තිය ඉදිරිපත් කළ තවත් වැදගත් වූයේ, ඥානසාර හිමියන් එම මාධ්‍ය සාකච්ඡාවේදී මුස්ලිම් සමාජය මුහුණ දෙන දරිද්‍රතාව සහ සමාජයීය වශයෙන් හුදෙකලා වීම වැනි ගැටලු පිළිබඳව සානුකම්පිත ස්වරයකින් අදහස් පළ කර තිබූ බැවින්, සමස්ත මාධ්‍ය සාකච්ඡාවම සැලකිල්ලට නොගෙන එහි තෝරාගත් කොටස් කිහිපයක් පමණක් පදනම් කරගනිමින් උන්වහන්සේට ද්වේෂසහගත චේතනාවක් තිබූ බවට නිගමනය කිරීමට නොහැකි බවයි.
ආගමික හැඟීම් රිදවීම පමණක් අපරාධයක් නොවේ!
මෙම නඩු තීන්දුවේ විශේෂයෙන් වැදගත් කොටසක් වන්නේ ආගමික හැඟීම් රිදවීම සහ සාපරාධී ද්වේෂසහගත ප්‍රකාශ අතර වෙනස පැහැදිලි කිරීමට අධිකරණය වෙනත් නඩු තීන්දු සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ ද සලකා බැලීමයි.
ඒ අතර 2023 නොවැම්බර් 14 වැනිදා ලබාදුන් ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධ අභියාචනාධිකරණ තීන්දුව ද තිබේ. Fredrick Christopher Jerome Fernando and Others v. C. D. Wickramaratne and Others යන නඩුවේදී අධිකරණය පෙන්වා දී තිබුණේ අප ජීවත් වන්නේ බහුආගමික සමාජයක බවයි. එම තීන්දුවේ අදහස මෙසේ සිංහලට නැඟිය හැකිය.
«“අප ජීවත් වන්නේ බහුආගමික සමාජයක බවත්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාෂණයේ නිදහස පිළිගන්නා බවත් සිහි තබාගත යුතුය. එක් එක් පුද්ගලයාට තමන්ගේ ආගම හොඳම ආගම වේ. තම ආගම උසස් කොට කතා කරන විට වෙනත් ආගම් අදහන්නන්ගේ හැඟීම් රිදීම ස්වාභාවික තත්ත්වයකි. එබැවින් ICCPR පනත යටතේ වරදක් ඇතිවීමට හැඟීම් රිදීමෙන් ඔබ්බට යන කරුණු අවශ්‍ය වේ.”»
මෙය අතිශයින් වැදගත් නීතිමය වෙනසකි. කිසියම් ආගමක ඉගැන්වීමක් තර්කානුකූලව විවේචනය කිරීම, එම ආගමික විශ්වාසය තමන් පිළි නොගන්නා බව ප්‍රකාශ කිරීම, ආගමික සංකල්පයක් උපහාසයට ලක්කිරීම සහ ආගමික ජන කොට්ඨාසයක හැඟීම් හිතාමතාම ද්වේෂයෙන් අපහාසයට ලක්කිරීම එකම දෙයක් නොවේ.
එමෙන්ම මෙම නඩුවේදී අධිකරණය අවධානය යොමුකර තිබුණේ ජෙරොම් ප්‍රනාන්දු නඩුවට අදාළ ICCPR පනත යටතේ වූ වරදක් නොව, දණ්ඩ නීති සංග්‍රහයේ 291(ආ) වගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් බව ද සැලකිල්ලට ගත යුතුය. එහෙත් ප්‍රකාශයකින් ආගමික හැඟීම් රිදුණු බව පමණක් සාපරාධී වගකීම තීරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලි කිරීම සඳහා එම තීන්දුව වැදගත් වේ.
නතාෂා එදිරිසූරියගේ සිදුවීමත් තීන්දුවට!
අභියාචනාධිකරණය තවත් කරුණක් ලෙස නතාෂා එදිරිසූරියගේ ප්‍රහසන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කළ නිරීක්ෂණ ද සිය තීන්දුවට ඇතුළත් කර තිබේ. එහිදී කොමිෂන් සභාව පෙන්වා දී තිබුණේ නතාෂාගේ ප්‍රකාශවල අරමුණ කිසිදු ආගමකට එරෙහි වෛරයක් ඇති කිරීම හෝ ආගමික විශ්වාසයන් අපකීර්තියට පත්කිරීම නොවූ බවයි.
ඇගේ ප්‍රකාශ සිදුකර තිබුණේ දේශපාලන, ආගමික හෝ අධ්‍යාපනික සන්දර්භයක නොව, විනෝදාස්වාදය සහ උපහාසාත්මක ප්රකාශනය අරමුණු කරගත් ප්‍රහසන වේදිකාවකදී බව ද එහි සඳහන් වේ.
බුදුන් වහන්සේගේ ළමා කාලය සම්බන්ධයෙන් ඇය කළ සඳහන බෞද්ධ ඉගැන්වීම් අවමානයට ලක්කිරීමක් නොව, දෙමාපියන් තම දරුවන් වෙනත් දරුවන් සමඟ සංසන්දනය කිරීමේ සමාජ පුරුද්ද පිළිබඳව ප්‍රේක්ෂකයන්ට සිතා බැලීමට අවස්ථාවක් ලබාදීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණයේ සඳහන් වී තිබේ.
මෙම කරුණු ගලගොඩඅත්තේ ඥානසාරගේ නඩු තීන්දුවට ඇතුළත් කර තිබීමෙන් පැහැදිලි වන්නේ, අධිකරණය සියලු ආගමික විවේචන හෝ උපහාස නීතිවිරෝධී බව ප්‍රකාශ කර නොමැති බවයි. ඊට ප්රතිවිරුද්ධව, ප්‍රකාශයක අරමුණ, එය සිදුකළ අවස්ථාව සහ එහි සන්දර්භය නීතිමය වශයෙන් විමසා බැලීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය වී තිබේ.
ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තුනක්
ගලගොඩඅත්තේ ඥානසාරගේ අභියාචනය විභාග කිරීමේදී අධිකරණය ඉන්දියානු නඩු තීන්දු කිහිපයක් ද සලකා බලා තිබේ.
1981 වසරේ Shalibhadra Shah v. Swami Krishna Bharati නඩුවෙන් ආගමික හැඟීම් හිතාමතා රිදවීමේ අරමුණින් ප්‍රකාශ සිදුකිරීම පිළිබඳ ඉන්දියානු දණ්ඩ නීතියේ 298 වගන්තිය යටතේ පවතින තත්ත්වය සාකච්ඡා කර තිබිණි.
2017 වසරේ Mahendra Singh Dhoni v. Yerraguntla Shyamsundar නඩුවේදී ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබුණේ ආගමකට අපහාසයක් වන සෑම ක්‍රියාවක්ම දණ්ඩනයට ලක්කළ නොහැකි බවයි.
එහිදී වැදගත් වන්නේ අදාළ අපහාසය ආගමික හැඟීම් අවුස්සන හිතාමතා සහ ද්වේෂසහගත චේතනාවෙන් සිදුකර තිබේද යන්නයි. නොදැනුවත්ව, නොසැලකිලිමත්ව හෝ එවැනි ද්වේෂසහගත චේතනාවකින් තොරව සිදුකරන අපහාසයක් එම නීතිමය සීමාවට අයත් නොවන බවත් එම තීන්දුවේ පැහැදිලි කර තිබේ.
එසේම 2021 වසරේ Amish Devgan v. Union of India නඩු තීන්දුවේදී ප්‍රකාශයක චේතනාව තීරණය කිරීමට සලකා බැලිය යුතු කරුණු කිහිපයක් පෙන්වා දී තිබිණි.
ඒවා අතර ප්‍රකාශය කළ පුද්ගලයා කවුරුන්ද, ප්‍රකාශයෙන් ඉලක්ක කළ ජන කණ්ඩායම කුමක්ද, එය කළ අවස්ථාව, දෙපාර්ශ්වය අතර පැවති සමාජයීය තත්ත්වය සහ ප්‍රකාශයෙන් සිදුවිය හැකි හානිය අතර සම්බන්ධතාව වැනි කරුණු ඇතුළත් වේ. එමෙන්ම සද්භාවය සහ ප්‍රකාශයට සාධාරණ අරමුණක් තිබුණේද යන්න ද සලකා බැලිය යුතු බව එහි සඳහන් වේ.
මෙම නීතිමය පූර්ව නිදසුන් ගලගොඩඅත්තේ ඥානසාරගේ අභියාචනයට විශේෂ වැදගත්කමක් ලබාදුන්නේය. මන්ද, අධිකරණයට තීරණය කිරීමට තිබුණේ ප්‍රකාශයක් අපහාසාත්මකද යන්න පමණක් නොව, එම අපහාසය සාපරාධී වරදක් බවට පත්කිරීමට අවශ්‍ය චේතනාව පැවතුණේද යන්නයි.
නීතිපතිවරයාගේ ප්රතිතර්කය කුමක්ද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිෂ්ණා වර්ණකුල මහත්මිය අධිකරණය හමුවේ අවධාරණය කළේ ප්‍රකාශයක ද්වේෂසහගත චේතනාව සොයා බැලීමේදී එම ප්‍රකාශයේ සම්පූර්ණ සන්දර්භය සැලකිල්ලට ගත යුතු බවයි. ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ ස්වභාවය, ඒ වටා පැවති තත්ත්වයන්, ප්‍රකාශයේ අරමුණ, එය ඉදිරිපත් කළ ආකාරය, වචන උච්චාරණය කළ ස්වරය සහ හැසිරීම් ලක්ෂණ, මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ සහ භාෂණයේ නිදහසේ සීමාවන් යන සියල්ලම මෙහිදී සලකා බැලිය යුතු බව නීතිපති පාර්ශ්වය පෙන්වා දී තිබිණි.
අභියාචනාධිකරණය මෙම තර්කය පිළිගෙන තිබේ. ඒ අනුව අදාළ ප්‍රකාශවල ස්වභාවය සලකා බැලීමේදී මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම්වලට හිතාමතා සහ ද්වේෂසහගතව අපහාස කිරීමේ චේතනාවක් පැහැදිලිව පෙනෙන බව විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා නිගමනය කර තිබේ.
ඒ අනුව මහාධිකරණය විත්තිකරු වරදකරු කළ ආකාරය නිවැරදි බව අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
කනගාටුව ප්‍රකාශ කළාට අපරාධයේ බරපතළකම අහෝසි වෙන්නේ නෑ!
මෙම තීන්දුවේ තවත් වැදගත් කරුණක් වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර සිය ප්‍රකාශය පිළිබඳව පසුතැවිල්ල ප්‍රකාශ කර තිබීම අධිකරණය සලකා බැලූ ආකාරයයි.
මාධ්‍ය සාකච්ඡාවේදී අදාළ වචන භාවිත කළ බව ඥානසාර හිමියන්ම පිළිගෙන තිබූ හෙයින්, එම ප්‍රකාශ සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳ සැකයක් නොමැති බව අධිකරණය පෙන්වා දී තිබේ. එහෙත්, පසුව කනගාටුව සහ පසුතැවිල්ල ප්‍රකාශ කිරීමෙන් අදාළ වරදේ බරපතලකම අහෝසි නොවන බව විනිසුරු මඩුල්ල අවධාරණය කර තිබේ.
තීන්දුවේ එම අදහස මෙසේ සිංහලට නැඟිය හැකිය.
«“කනගාටුව සහ පසුතැවිල්ල ප්‍රකාශ කර තිබුණද, එසේ කනගාටුව පළ කිරීමෙන් පමණක් මුස්ලිම් ප්‍රජාවේ ආගමට සහ ආගමික හැඟීම්වලට සිදුකළ අපහාසයේ බරපතළකම අහෝසි කළ නොහැකිය.”»
එහිදී පසුතැවිල්ල තිබුණේද නැද්ද යන්නට වඩා, අදාළ ප්‍රකාශ සිදුකළ අවස්ථාවේ වරදට අවශ්‍ය චේතනාව පැවතුණේද යන්න අධිකරණයේ නීතිමය විමර්ශනයේ මූලික කරුණක් බවට පත්ව තිබිණි.
එකම මාධ්‍ය සාකච්ඡාවකට චෝදනා දෙකක් ගොනු කළ හැකිද?
ඥානසාරගේ නීතිඥයන් ඉදිරිපත් කළ තවත් තර්කයක් වූයේ එකම මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් චෝදනා දෙකක් ගොනු කිරීම සුදුසු නොවන බවයි. එසේම මහාධිකරණය නියම කළ සිරදඬුවම් දෙක එකකට පසුව අනෙක ක්‍රියාත්මක කිරීමට නියෝග කිරීම අසාධාරණ බවත් ඔවුන් තර්ක කර තිබිණි.
එක් චෝදනාවකට වසර දෙකක සිරදඬුවමක් සහ අනෙක් චෝදනාවට තවත් වසර දෙකක සිරදඬුවමක් නියම කර ඇති බැවින් මෙම ප්රශ්නය විමසා තිබේ. එම දඬුවම් දෙක එකවර ක්‍රියාත්මක වන්නේ නම් ක්‍රියාත්මක වන සිරදඬුවමේ කාලය වසර දෙකක් වන අතර, එකකට පසුව අනෙක ක්‍රියාත්මක වන්නේ නම් වසර හතරක් වේ.
එහෙත් අභියාචනාධිකරණය විත්තියේ එම තර්කය පිළි නොගත් අතර, නීතිපති පාර්ශ්වයේ තර්කය පිළිගනිමින් සඳහන් කළේ චෝදනා දෙක පදනම් වී තිබෙන්නේ එකම ප්‍රකාශයකට නොව එම මාධ්‍ය සාකච්ඡාවේදී සිදුකළ වෙනස් ප්‍රකාශ කොටස් දෙකකට බවත්, එම ප්‍රකාශ කාණ්ඩ දෙකම වෙන වෙනම ආගමට සහ ආගමික හැඟීම්වලට අපහාස කරන බවත්ය.
ඒ අනුව චෝදනා දෙකක් ගොනු කිරීමෙන් කිසිදු අගතියක් සිදුවී නොමැති බව විනිසුරු කුමාරන් රත්නම් මහතා සඳහන් කළ අතර, අවසානයේ දඬුවම් දෙක එකකට පසුව අනෙක ක්‍රියාත්මක කිරීමේ මහාධිකරණ තීරණය ද වෙනස් නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
භාෂණයේ නිදහසට සීමාවන් තිබෙන බව අධිකරණය කියයි
මෙම තීන්දුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ විධිවිධාන ද සලකා බලා ඇති අතර, එහි 10 වැනි ව්‍යවස්ථාව මඟින් සෑම පුද්ගලයකුටම සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමික නිදහස මෙන්ම තමන් කැමති ආගමක් හෝ විශ්වාසයක් පිළිගැනීමට ඇති නිදහස ද සහතික කර තිබේ.
මෙහිදී අධිකරණය 2025 මැයි 21 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් Manimandre Arachilage Suneetha Kalyani de Silva and Others v. S. J. B. Suwaris and Others නඩු තීන්දුව ද සලකා බලා තිබේ.
එම තීන්දුව මඟින් පුද්ගලයකුට බාහිර බලපෑම්වලින් තොරව තමන් කැමති ආගමක් වැලඳගැනීමට ඇති අයිතිය පැහැදිලි කර තිබිණි.
ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව මඟින් භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස සහතික කරන බව අභියාචනාධිකරණය සඳහන් කළේය. එහෙත් එම නිදහස අසීමිත නොවන බව පෙන්වාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2) සහ 15(7) ව්‍යවස්ථා උපුටා දක්වා තිබේ.
15(2) ව්‍යවස්ථාව අනුව වාර්ගික හා ආගමික සංහිඳියාව ආරක්ෂා කිරීම ඇතුළු නිශ්චිත අරමුණු වෙනුවෙන් නීතියෙන් පනවන සීමාවන්ට භාෂණයේ නිදහස යටත් කළ හැකිය.
15(7) ව්‍යවස්ථාවෙන් ජාතික ආරක්ෂාව, මහජන සාමය, මහජන සෞඛ්‍යය, සදාචාරය සහ අන් අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අරමුණු සඳහා නීතියෙන් සීමාවන් පැනවීමට ඉඩ සලසා තිබේ.
මෙහි වැදගත්ම නීතිමය කාරණය වන්නේ භාෂණයේ නිදහසට සීමාවන් තිබෙන බව පමණක් සඳහන් කරමින් කිසිවකු වරදකරු කළ නොහැකි වීම වන අතර, අදාළ පුද්ගලයා විසින් නිශ්චිත අපරාධ නීතියක සඳහන් වරදේ අංග සම්පූර්ණ කර ඇති බව නීතියට අනුව ඔප්පු කළ යුතු අතර, ඥානසාර හිමියන්ගේ නඩුවේදී පැමිණිල්ල එම වගකීම ඉටුකර ඇති බව අභියාචනාධිකරණය නිගමනය කර තිබේ.
බුදු දහම ගැන විනිසුරුවරයා කළ විශේෂ පැහැදිලි කිරීම
තීන්දුවේ අවසන් කොටස බුදු දහමේ මූලික ඉගැන්වීම් සහ භික්ෂූන් වහන්සේලාගෙන් අපේක්ෂා කරන සදාචාරමය හැසිරීම පිළිබඳව වෙන්කර ඇති අතර, විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා සිය තීන්දුවේ දහවැනි පිටුවේදී බුදු දහම අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය සහ සියලු ජීවීන්ට මෙන්ම අනෙකුත් ආගමික විශ්වාසයන්ට ගෞරව දැක්වීම මත පදනම් වූ දර්ශනයක් බව අවධාරණය කරයි.
එහි අදහස සිංහලට නැඟූ විට මෙසේය.
«“බුදු දහම අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය සහ සියලු ජීවීන්ට මෙන්ම අනෙකුත් විශ්වාස පද්ධතීන්ට ගැඹුරු සදාචාරමය ගෞරවයක් දැක්වීම යන මූලධර්ම මත පදනම් වේ. බෞද්ධ දර්ශනයේ පදනම සාමය සහ මෛත්‍රිය අවධාරණය කිරීමයි.”»
බුදුන් වහන්සේ වෙනත් ආගමික සම්ප්රදායන්ගේ ඉගැන්වීම් සහ පිළිවෙත් පිළිබඳව ද අවධානය යොමුකර තිබෙන බවත්, වෙනත් ආගමික නායකයන්ට ගෞරවයෙන් සැලකීමට සිය ශ්‍රාවකයන්ට උපදෙස් දී තිබෙන බවත් තීන්දුවේ සඳහන් වන අතර, විශේෂයෙන් වෙනත් ආගමික නායකයන්ට කාරුණික වචනයෙන් සහ ක්‍රියාවෙන් සැලකිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කර තිබෙන බව විනිසුරුවරයා සඳහන් කරයි.
බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය පිළිබඳව ද අධිකරණය විශේෂ අවධානයක් යොමුකර ඇති අතර, විනය පිටකය මඟින් සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීම් පිළිබඳ නීති රීති නියම කර ඇති බවත්, භික්ෂූන් වහන්සේලාගෙන් ඉහළ මට්ටමේ සදාචාරමය හැසිරීමක් සහ සංයමයක් බලාපොරොත්තු වන බවත් තීන්දුවේ සඳහන් වේ.
එසේම බෞද්ධ ඉගැන්වීම්වල සීලය පිළිබඳ සංකල්පය යටතේ නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව සහ නිවැරදි ජීවනෝපාය පිළිබඳ අවධාරණය කර තිබේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා වාචා සහ සම්මා කම්මන්ත ඇතුළු ඉගැන්වීම් මඟින් නිවැරදි හැසිරීමේ වැදගත්කම අවධාරණය කරන බව ද විනිසුරුවරයා පෙන්වා දී තිබේ. භික්ෂූන් වහන්සේලා මෙම සදාචාරමය සහ විනයමය ප්රමිතීන් ආරක්ෂා කළ යුතු බවත්, එම මූලධර්ම උල්ලංඝනය කරන ක්‍රියා බෞද්ධ භික්ෂු විනයට පටහැනි වන බවත් තීන්දුවේ අවධාරණය කර තිබේ.
මෙම අදහස් නඩුවේ දණ්ඩනීය වරද ඔප්පු කිරීමට අවශ්‍ය නීතිමය අංගවලට අමතරව, භික්ෂුවකගේ වගකීම පිළිබඳව විනිසුරුවරයා සිදුකරන සදාචාරමය නිරීක්ෂණ ලෙස සැලකිය හැකි අතර, එමඟින් අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ගේ හැසිරීම බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් සමඟ ද සසඳා බලන ආකාරයක් දැකගත හැකිය.
අවසාන තීන්දුව
ඉදිරිපත් වූ සාක්ෂි සහ නීතිමය කරුණු සියල්ල සලකා බැලීමෙන් පසු විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා නිගමනය කර තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බවයි.ඒ අනුව තීන්දුවේ අවසන් නිගමනයේ සඳහන් අදහස මෙසේය.
«“මෙම නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමේදී අභියාචකයාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල විසින් ඔප්පුකර ඇති බව මම නිගමනය කරමි. ඒ අනුව 2024 මාර්තු 28 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් තීන්දුවට මැදිහත් වීම අවශ්‍ය නොවන බව නිගමනය කරමි. එබැවින් වරදකරු කිරීම සහ දඬුවම තහවුරු කරමින් අභියාචනය ප්‍රතික්ෂේප කරමි.”»
ඉන් අනතුරුව මෙම තීන්දුව සහ මුල් නඩු වාර්තාව කොළඹ මහාධිකරණය වෙත යැවීමට අභියාචනාධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියෝග කර තිබේ. ඒ අනුව 2024 මාර්තු 28 වැනිදා කොළඹ මහාධිකරණය නියම කළ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම සහ රුපියල් ලක්ෂයක දඩය අභියාචනාධිකරණයේදී ද තහවුරු වී ඇත.
මේ තීන්දුවේ වැදගත්කම කුමක්ද?
මෙම තීන්දුව ඥානසාර හිමියන්ට එරෙහිව ලබාදුන් තවත් අපරාධ නඩු තීන්දුවක් ලෙස පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවන අතර, එහිදී අධිකරණය වැදගත් කරුණු කිහිපයක් පැහැදිලි කර තිබේ.
පළමුවැන්න, පුද්ගලයකුගේ ආගමික හැඟීම් රිදවීම සහ ආගමික හැඟීම් හිතාමතාම ද්වේෂසහගතව අපහාසයට ලක්කිරීම අතර පවතින වෙනසයි. ආගමික විවේචනයක් හෝ උපහාසයක් සිදුකළ සෑම අවස්ථාවකම අපරාධයක් සිදුවන බව මෙම තීන්දුවෙන් කියැවෙන්නේ නැත.
දෙවැන්න, ප්‍රකාශයක සාපරාධී චේතනාව තීරණය කිරීමට එහි වචන පමණක් නොව, එය කළ පුද්ගලයා, සිදුකළ අවස්ථාව, ස්වරය, අරමුණ සහ සම්පූර්ණ සන්දර්භය සැලකිල්ලට ගත යුතු බවයි.
තෙවැන්න, භාෂණයේ නිදහස සහ ආගමික නිදහස එකිනෙකට ප්‍රතිවිරුද්ධ අයිතිවාසිකම් ලෙස සරලව වෙන් කළ නොහැකි බවයි. ප්රජාතන්ත්රවාදී සමාජයක මෙම අයිතිවාසිකම් දෙකම ආරක්ෂා කිරීමට සිදුවේ. යම් ප්‍රකාශයක් අපරාධයක් බවට පත්වන්නේද යන්න තීරණය කළ යුත්තේ නීතියෙන් නියම කළ කොන්දේසි සහ සාක්ෂි මතය.
සිව්වැන්න, යම් ප්‍රකාශයක් තමන් සිදුකළ බව පිළිගෙන පසුව පසුතැවිල්ල පළකිරීමෙන් පමණක්, එම ප්‍රකාශය මඟින් කලින් සම්පූර්ණ වී ඇති අපරාධයක බරපතළකම අහෝසි නොවන බවයි.
අවසාන වශයෙන් මෙම නඩුවේ තවත් සුවිශේෂී කරුණක් තිබේ. ඒ, බෞද්ධ භික්ෂුවක විසින් තවත් ආගමකට කළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙන විට, අධිකරණය බුදු දහමේ අවිහිංසාව, කරුණාව, මෛත්‍රිය, සම්මා වාචා සහ භික්ෂු විනය පිළිබඳ මූලධර්ම සිහිපත් කර තිබීමයි.
එමඟින් අධිකරණය පෙන්වා දෙන්නේ ආගමක නාමයෙන් පෙනී සිටීම සහ එම ආගමේ ඉගැන්වීම්වලට අනුකූලව හැසිරීම එකම දෙයක් නොවන බවයි. ආගමික අනන්‍යතාවක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයකුට ද අනෙක් පුරවැසියන්ට මෙන්ම නීතිය අදාළ වන අතර, ආගමික නායකත්වය දරන්නකුගෙන් එම ආගම දේශනා කරන සදාචාරමය ප්රමිතීන් ආරක්ෂා කිරීම ද බලාපොරොත්තු වේ.
ඒ අනුව ගලගොඩඅත්තේ ඥානසාරගේ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය තහවුරු කර ඇත්තේ වසර හතරක සිරදඬුවම පමණක් නොවේ. ආගමික හැඟීම් හිතාමතා සහ ද්වේෂසහගතව අපහාසයට ලක්කිරීමේ සාපරාධී වගකීම තීරණය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය සීමාවන් ද එම තීන්දුවෙන් පැහැදිලි කර තිබේ.
