අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කර තිබූ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (නොවැම්බර් 18) තහවුරු කර තිබේ.
අදාළ සිර දඬුවමට එරෙහිව ශෂී වීරවංශ විසින් ගොනුකර තිබූ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එය ප්‍රතික්ෂේප කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
එමෙන්ම, විවෘත අධිකරණයේ පෙනී සිටි ශෂී වීරවංශ වහාම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
අදාළ සිර දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
මෙම නඩුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි 27 වැනිදා ශෂී වීරවංශ වරදකාරිය කරමින් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබිණි.
ව්‍යාජ තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර, සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද නියම කර තිබිණි. එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් විඳිය යුතු බවට ද අධිකරණය නියෝග කර තිබිණි.
ඉන් පසු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ ශෂී වීරවංශට 2022 මැයි 31 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබාදී තිබිණි.
අනතුරුව 2026 ජුනි 11 වැනිදා ඇයගේ මෙම අභියාචනය සම්බන්ධයෙන් තම තීන්දුව ලබාදුන් කොළඹ මහාධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව තහවුරු කරමින් එම අභියාචනය ප්‍රතික්ෂේප කර තිබිණි.
එම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ද අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එම අභියාචනය විභාග වන තෙක් ඇයට ඇප මත සිටීමට අවසර ලබාදී තිබිණි.
