එයාර් බස් ගනුදෙනුවට අදාළ නාමල් රාජපක්ෂට එරෙහි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන්

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා මත නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (18) නිවේදනය කර තිබේ.

අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවයි.

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන මුල් විමර්ශන වාර්තාව සහ නඩු භාණ්ඩ මේ වනවිටත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමුකර ඇති බව මහේස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවත්, එම නඩුවේ සැකකරුවකු වන නාමල් රාජපක්ෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයකට අනුව මේ වනවිටත් බන්ධනාගාර භාරයේ පසුවන බවත්ය.

තවද, නඩුවේ සෙසු සැකකරුවන් වන මේ වනවිට විදේශගතව සිටින ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම කරුණු සලකා බැලූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ නඩු කටයුත්ත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා එයාර් බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව එම අධිකරණයේ පවරා තිබූ නඩු කටයුතු අවසන් කරන බව නිවේදනය කළේය.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව හෙට (19) දිනයේදී කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීමට නියමිත බව ද වාර්තා වේ.

Author

Leave a Reply

Related Posts