Netflix කතාවේ ලෙහෙසියෙන්ම මගහැරුණු කොටස! The Bombing of Pan Am 103 විචාරය

මරීසා ද සිල්වා

1988 දෙසැම්බර් මාසයේදී සිදුවූ ‘පෑන් ඇම් (Pan Am) 103’ ගුවන් යානයේ බෝම්බ පිපිරවීම ඇසුරෙන් නිර්මාණය වූ ‘ද බෝම්බිං ඔෆ් පෑන් ඇම් 103’ (The Bombing of Pan Am 103) නැමැති නෙට්ෆ්ලික්ස් (Netflix) කතා මාලාව මම නරඹමින් සිටියෙමි. එම අනතුරෙන් එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයේ 259 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර යානයේ කොටස් කඩා වැටීමෙන් ස්කොට්ලන්තයේ ලොකර්බි (Lockerbie) හි ප්‍රදේශවාසීන් 11 දෙනෙකුද ජිවිතක්ෂයට පත්විය. බටහිර ලෝකයම මහත් කම්පනයට පත් කළ මෙම මහා ඛේදවාචකයේ ප්‍රමාණය කොතෙක්ද යත්, “ත්‍රස්තවාදයට එරෙහි එක්සත් සටන” උදෙසා ස්කොට්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය සහ මෝල්ටාව යන රටවල ඉහළම සහ වඩාත්ම “විශිෂ්ට” බුද්ධි හා ආරක්ෂක අංශ මෙන්ම දෙපාර්තමේන්තු ද එකමුතු කරවීමට එය සමත් විය.

වසර 12 ක කාලයක් තිස්සේ විමර්ශන පැවැති අතර, එහි මූලික නඩු විභාගය 2000-01 වසරවලදී නෙදර්ලන්තයේදී පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවන ලද හානිදායක ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සම්බාධකවලට වසර ගණනාවක් මුහුණ දීමෙන් අනතුරුව, බෝම්බ ප්‍රහාරයට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු භාර දීමට ලිබියාව එකඟ විය.

නමුත්, මෙම කතා මාලාව මගින් ඉතා පහසු ලෙස මගහැර යන්නේ, “ත්‍රස්තවාදයට එරෙහි වීම”, “ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම” හෝ “ආර්ථික ආරක්ෂාව” යන තේමාවන් මුවාවෙන්, එක්සත් ජනපදය සහ එහි අධිරාජ්‍යවාදී මිත්‍ර පාක්ෂිකයන් විසින් ලිබියාවට මෙන්ම කියුබාව, වියට්නාමය, ලෙබනනය, ඉරානය, ගෝතමාලාව සහ කාම්බෝජය ඇතුළු ලොව පුරා තවත් රටවල් ගණනාවකට එරෙහිව සිදු කරන ලද පූර්ව ප්‍රහාරයන්ය. එම ක්‍රියාවන් අදටත් නොනැවතී සිදු වෙමින් පවතී.

2026 අගෝස්තු මාසය වෙත අවධානය යොමු කළහොත්, 2023 ඔක්තෝබර් 07 වැනිදා සිට ගාසා තීරයේදී එක්සත් ජනපදයේ සහාය ලබන ඊශ්‍රායලය විසින් අවම වශයෙන් පලස්තීනුවන් 73,000 කට වැඩි පිරිසක් (ළමුන් 21,000 කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව) ඝාතනය කර ඇති බව වාර්තා වේ.

තවද, 2025 වසරේ ‘ද ලැන්සෙට් ග්ලෝබල් හෙල්ත්’ (The Lancet Global Health) සඟරාවේ පළ වූ වැදගත් අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ, 1971 සහ 2021 යන වසර අතර කාලය තුළ පමණක් එක්සත් ජනපදය සහ යුරෝපීය සංගමය විසින් පනවන ලද ඒකපාර්ශ්වික ආර්ථික සම්බාධක හේතුවෙන් ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 38 ක් බවයි!

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව පුරා සිදුවූ එක්සත් ජනපද හමුදාමය මැදිහත්වීම්වල නිශ්චිත සංඛ්‍යාව තහවුරු වී නොමැති වුවද, ප්‍රධාන වාර්තාකරණ ව්‍යාපෘති මගින් ඇස්තමේන්තු කරන්නේ එය මෙහෙයුම් 200 ත් 250 ත් අතර ප්‍රමාණයක් වන බවයි. තවද, 1800 ගණන්වල සිට අද දක්වා හමුදා කුමන්ත්‍රණ/ආණ්ඩු පෙරලීම සඳහා එක්සත් ජනපදය/CIA හි සෘජු මැදිහත්වීම් 70 සිට 80 දක්වා අවම වශයෙන් වාර්තා වී ඇත (උදාහරණ ලෙස ඉරානය, ගෝතමාලාව, චිලී සහ ඉන්දුනීසියාව). මෙම වසර මුලදී වෙනිසියුලාවේ ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යාමෙන් පසුව සිදුවූ ආණ්ඩු පෙරළියද ඊට ඇතුළත්ය! රැවටීමට ලක් නොවන්න; මෙම ‘ආණ්ඩු පෙරළි’ එක්සත් ජනපදය විසින් “ප්‍රජාතන්ත්‍රවාදී” හෝ “ගැලවුම්කාර” මැදිහත්වීම් ලෙස අලංකාර කර තිබුණද, ඒවා සිදු කර ඇත්තේ එක්සත් ජනපදයට හෝ වෙනත් අධිරාජ්‍යවාදී බලවේගවලට එරෙහිව නැගී සිටි නායකයින් බලයෙන් පහ කර, ඒ වෙනුවට එක්සත් ජනපද ගැති ‘රූකඩ ආණ්ඩු’ (puppet-regimes) පිහිටුවීම සඳහාය. මෙම මැදිහත්වීම්වල කිසිදු “ප්‍රජාතන්ත්‍රවාදී” බවක් තිබී නැති අතර, ඒවා සිදු කළ ආකාරය තුළද ප්‍රජාතන්ත්‍රවාදී කිසිවක් තිබී නැත.

අප මෙම සියලු දත්ත දෙස නෙත් යොමන අතරතුර, 1988 දී පෑන් ඇම් 103 ගුවන් යානයට බෝම්බ හෙලීමෙන් මියගිය 270 දෙනාගේ සිදුවීමට නැවත යමු. මෙම අතිශය ම්ලේච්ඡ ක්‍රියාවට වගකිවයුත්තන් සෙවීම සඳහා සමස්ත අධිරාජ්‍යවාදී ලෝකයම එකතු විය. බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ යැයි කියනු ලබන පුද්ගලයාට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයේ පැවැත්වෙන නඩුව, බෝම්බ ප්‍රහාරයෙන් දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබියදීත් තවමත් විභාග වෙමින් පවතී. වින්දිත පවුල්වල දෘෂ්ටිකෝණයෙන් බලන කල, කෙසේ හෝ සාධාරණය ඉටු විය යුතු අතර වගවීම තහවුරු විය යුතුය. කිසිසේත්ම පෑන් ඇම් 103 ගුවන් යානයෙන් අහිමි වූ ජීවිත 270 මම සුළු කොට තැකිය නොහැක.

කෙසේ වෙතත්, මෙම විමර්ශනය සහ මීට සමාන අනෙකුත් විමර්ශන මගින් නැවත නැවතත් තහවුරු වන්නේ, “ඇතැම් ජීවිත පමණක් වටිනා” බවත්, ඔවුන්ගේ අපරාධ සඳහා දඬුවම් ලැබීමට, සම්බාධකවලට ලක්වීමට සහ වගකීමට බැඳී සිටින්නේ “ඇතැම් වරදකරුවන් පමණක්” බවත් කියන ලෝකයේ පැහැදිලි පක්ෂපාතීත්වය සහ දෙබිඩි පිළිවෙතයි. ඇතැම් මරණ මුළු “බටහිර” ලෝකයේම අනුකම්පාවට සහ කෝපයට හේතු වන අතර, අහිමි වූ මිලියන සංඛ්‍යාත ජීවිත “ත්‍රස්තවාදයෙන් ලෝකය මුදවා ගැනීමේ උතුම් ගෝලීය සටනේ” අවාසනාවන්ත නමුත් අත්‍යවශ්‍ය අතුරු හානියක් ලෙස හෙළා දැකීමට, සාධාරණීකරණය කිරීමට හෝ අමතක කර දැමීම සිදු කෙරේ!

මේ අතර, මිලියන ගණනක් ඝාතනය කිරීමට සහ ලොව පුරා ඩොලර් ට්‍රිලියන ගණනක ඉඩම් සහ සම්පත් සොරකම් කිරීමට හා කොල්ලකෑමට වගකිව යුතු ලෝකයේ අධිරාජ්‍යවාදී බලවේග, නිදහසේ සැරිසරනවා පමණක් නොව, සෙසු ලෝකයේ ඉරණම තීරණය කිරීමේ බලයද තමන්ගේ අතේ තබා ගැනීමට වගබලා ගෙන ඇත!

ඔන්න ඔබ වෙනුවෙන් තැබූ සාධාරණ ලෝකයේ තරම! එහෙව් ‘නිදහස්‘ ලෝකයට ජයෙන් ජයම වේවා!

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading