ඥාණසාර නිදහස් කිරීමේ ඉල්ලීම ඉෂ්ට කළ නොහැකියි, නීතියේ ආධිපත්‍යයට පිටුපෑමට ආණ්ඩුව සූදානම් නෑ – අමාත්‍ය ලාල් කාන්ත

ගලගොඩඅත්තෙ ඥාණසාර නිදහස් කරන ලෙස සිදුකරන ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත අද (16) පැවසුවේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ තීන්දුවකට පිටින් යමින් එවැනි තීරණයක් ගැනීම ජනතාව ලබාදුන් ජනවරමට පිටුපෑීමක් වන බැවින්, රජය කිසිසේත්ම එවැනි පියවරක් නොගන්නා බවයි.

ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වූ පාගමන සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අධිකරණ නියෝගයකට අනුව උන්වහන්සේලා උද්ඝෝෂණයෙන් ඉවත් වෙමින් සිටින බව වාර්තා වන බව පැවසීය.

මම හිතන්නේ දින කීපයක පාගමනක් ආවා. ඊයේ පාගමන අවසන් වුණා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට උසාවි නියෝගයක් මත උන්වහන්සේලා අහ් උන්වහන්සේ උද්ඝෝෂණයෙන් ඉවත් වෙමින් ඉන්නවා කියලා තමයි මේ වෙනකොට තියෙන්නේ. කොහොම වුණත් අපේ හාමුදුරුවන් වහන්සේලාටත්, පොදුජනතාවටත්, හැම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිවයුතු තිබෙනවා. ඒ තමයි බලන්න ජනවරම දිහා. අපිට ලැබිච්ච ජනවරම දිහා හැමෝම බලන්න. ඒ ජනවරම මත පදනම් වෙලා තමයි ජනාධිපතිතුමාත් තීරණ ගන්නේ. ඒ වගේම ආණ්ඩුව තීරණ ගන්නේ ජනවරමත් එක්ක. මේ ජනවරමේ තියෙන්නේ නීතිය ආධිපත්‍යය ඉල්ලලා තියෙන ජනවරමක් මේක. නීතිය හැමට සමානව තියෙන්න ඕනේ කියන ජනවරමක් මේ තියෙන්නේ. ඉතින් ඒ දිශාවට රට හරවලා තියෙන්නේ මේ වෙනකොට. ඒක කවුරුත් දන්නවා. ඉතින් අපේ පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බැහැ. ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමාත්, මේ ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා. ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බැහැ. ඉල්ලන්න ඕනේ, කරන්න පුළුවන් දෙයක්. ඉල්ලීම් කියන ඒවා තියෙනවා. රජයන්ගෙන් ආණ්ඩුවලින් ජනතාව ඉල්ලීම් ඉල්ලනවා. උද්ඝෝෂණ කරනවා, වැඩවර්ජන කරනවා, විවිධ දේ කරනවා. නමුත් ඉතින් මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙමෙයි. ඒක අපේ හාමුදුරුවන් වහන්සේලාට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් දෙයක්.

පසුගිය රජයන් සමයේ ලබාදුන් ජනාධිපති සමාවන් සහ තීන්දු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලාල් කාන්ත අමාත්‍යවරයා කියා සිටියේ, එසමයේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බැවින් ජනතාව එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ බවයි.

මේක ඇත්තම කියනවා නම් දැන් අලුත් ලංකාවක්. පරණ ලංකාව නෙමෙයි. පරණ ඒවා තව ගොඩක් තියෙන අතර, අලුත් දේවල් සැලකිය යුතු මට්ටමකින් ගොඩනගලා තියෙන දෙයක්. දැන් බලන්න අධිකරණ ක්‍රියාවලිය රටේ යාමින් හොඳින් ජනතාව පිළිගන්න ආකාරයෙන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එතකොට අධිකරණ තීන්දුවකට පිටින් ජනාධිපතිතුමා කිසිසේත්ම මේ තීන්දුවට එන්නේ නැහැ. ඒක ස්ථිරයි. කවුරුත් සැකයක් තියාගන්න දෙයක් නැහැ. අපේ හාමුදුරුවන් වහන්සේලා, ඒ කියන්නේ කොළඹට වැඩි හාමුදුරුවන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ජනාධිපතිතුමාට බැහැ. ජනාධිපතිතුමා ඒක කරන්නේ නැහැ. මේ ආණ්ඩුව ඒකට එකඟ නැහැ. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඥාණසාර සිවුර දැරීමට ඇති අවස්ථාව පිළිබඳව මාධ්‍යවේදියා කළ විමසීමේදී අමාත්‍යවරයා පැහැදිලි කළේ, ඒ සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ නිර්දේශ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

ඒ අනුව, උන්වහන්සේට අධිකරණ කටයුතු සඳහා සම්බන්ධ වන විට සිවුර දරා සිටීමේ හැකියාව පවතින බවත්, යම් හෙයකින් අදාළ නිකාය විසින් සිවුර ඉවත් කිරීමට තීරණය කළහොත් මිස, නිකාය මැදිහත් නොවන්නේ නම් සිවුර පිටින් කටයුතු කිරීමට නීතිමය බාධාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

නීතිය හමුවේ සියලු දෙනා සමාන බව අවධාරණය කළ අමාත්‍ය ලාල් කාන්ත, නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ තරාතිරම හෝ ආගම දෙස බලා නොවන බව ප්‍රකාශ කළේය.

කිසිම ආගමක් දිහා බල බල නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මූලික නීතිය, ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනෙකුත් නීති අනපනත් තියෙනවා, ඒවට අනුව තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. පුද්ගලයාගේ තරාතිරම මොකක්ද කියලා නීතිය බලන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් නීතිය අර කාන්තාවින් ඇස් වහලා, පරාදිය තියාගෙන. ඒක තමයි දැන් නීතියේ සංකේතය. කලින් ඒ සංකේතය තිබ්බට ඒක එහෙම වුණේ නැහැ. දැන් හරියටම ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අ මේක කිසිසේත්ම යුක්ති සහගත, සාධාරණ ඉල්ලීමක් නෙමෙයි. මේක වෙන්නේ නැහැ. කරන්න බැහැ මේක. ජනාධිපතිතුමා කිසිසේත්ම කරන්නේ නැහැ. ඒක ස්ථිරයි. ජනතාවට දිගිනියාවක් තිබ්බා නම් මේක දැන් මොකක් වෙයිද කියලා. අ වැඩිපුර හාමුදුරුවන්ට තිබ්බා නම් දිගිනියාවක් මොකක්ද කියලා, කිසිම දිගිනියාවක් තියාගන්න බැහැ. ජනවරමට පිටුපාලා, ජනතාවගේ ඉල්ලීමට අනුව කටයුතු සිද්ධ වෙන්නේ කියන එක ජනවරමට පිටුපාලා මුකුත් වෙන්නේ නැහැ. ඒක ඒක ස්ථිරයි. අපේ පදනම තියෙන්නේ ජනවරමේ. ඒ ජනවරමට පිටුපාන්න ජනාධිපතිතුමාත් ආණ්ඩුවවත් අපි කවුරුත් සූදානම් නැහැ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading