ඩෑන් ගිල්රෝයි (Dan Gilroy) ගේ Nightcrawler කියන චිත්‍රපටය අපට පෙන්වන්නේ හුදෙක් මනෝව්‍යාධිකයෙකුගේ කතාවක් පමණක් නොව, මනුෂ්‍යත්වයට වඩා ප්‍රතිඵල, සත්‍යයට වඩා අවධානය, සහ සදාචාරයට වඩා වෙළඳපොළ තෝරන පද්ධතියක බියකරු යථාර්ථයයි. මොහොතකට හිතලා බලන්න ස්වයං – සංවර්ධන (Self-Development) පොත් සේරම කටපාඩම් කරපු, ඒත් ඒ උපදෙස් පිටුපස තියෙන යථාර්ථය ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති කෙනෙක් ගැන. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලූ බ්ලූම් (Lou Bloom) කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. “උත්සාහය” සහ “හිංසනය” අතර හෝ “අවස්ථාව” සහ “දුර්වලතාවය සූරාකෑම” අතර වෙනසක් නොදකින ඔහු, ප්‍රතිඵලයක් සඳහා ඕනෑම දෙයක් කළ යුතුය යන තැනකට මෙම චිත්‍රපටය ගලාගෙන යන අතරතුර පත් වෙනවා. එයා දන්න එකම දේ වෙන්නේ කිසිම හැඟීමක් නැතුව, යන්ත්‍රයක් වගේ ව්‍යාපාරික උපක්‍රම ක්‍රියාත්මක කිරීම විතරයි.
ඉදිකිරීම් භූමියකින් යකඩ කැබලි හොරකම් කරද්දි තමයි ලූ ව අපිට මුලින්ම හමුවෙන්නේ. ආරක්ෂක නිලධාරියා ඔහුව අල්ලගත්තම ඔහු ලස්සනට බොරු කියනවා, ඊට පස්සේ ආරක්ෂකයාට පහර දීලා එයාගේ අත් ඔරලෝසුවත් උදුරා ගන්නවා. මෙම සිදුවීම වැදගත් වෙන්නේ ලූ කෙතරම් නරක මිනිහෙක්ද කියලා පෙන්වන්න විතරක් නෙමෙයි. චිත්‍රපටය මුලින්ම අපිට කියන්නේ ඔහුගේ ලෝකයේ අනිත් මිනිසුන් කියන්නේ සම්බන්ධතා නොව, භාවිත කළ හැකි සම්පත් පමණක් බවයි. ඔහුට වැදගත් වෙන්නේ “මම මේක කරන්න හොඳද?” කියන ප්‍රශ්නය නෙමෙයි. මේකෙන් මට ලබාගන්න පුළුවන් මොනවද? කියන දේ විතරයි. මේ තර්කනය තමයි ඔහුගේ මුළු වෘත්තීය ජීවිතය පුරාම නැවත නැවතත් අපිට දකින්න ලැබෙන්නේ.

හොරකම් කළ බඩු විකුණන තැනදී ලූ සාධාරණ මිලක් ඉල්ලුවත්, ඔහුගේ තත්වය හොඳින් දන්න වෙළෙන්දා අඩු මිලක් දෙන්නේ හොරකම් කරපු භාණ්ඩයක් විකුණද්දී මිල සම්බන්ධව කේවල් කරන්න ඔහුට බලයක් නැති නිසයි. මෙය නරඹන ඔබට අපහසුවක් දැනෙනවා නම්, ඒක හරිම සාමාන්‍යදෙයක්. ලූගේ සෑම පියවරක්ම ධනපති මානසිකත්වයට අනුව තාක්ෂණිකව නිවැරදියි, ඒ තමන්ව විකුණන්න, උනන්දුව පෙන්වන්න, ‘බැහැ’ කියන දේ ‘තවම බැහැ’ ලෙස දකින්න. නමුත් අන් අය ගැන සිතීමට තරම් අනුකම්පාවක් ඔහු තුළ නැහැ. ප්‍රතික්ෂේප කිරීම් දෙකකට පසුව, මහා මාර්ගයේ අනතුරක් පටිගත කරන මාධ්‍ය කණ්ඩායමක් දකින ලූ ගෙ ජීවිතේට අලුත් අවස්ථාවක් විවෘත වෙනවා. මෙන්න මෙතැනදි තමයි එයා තීරණය කරන්නේ කවුරුත් මට රැකියාවක් දෙන්නේ නැත්නම්, මම කාගෙන්වත් අවසර ඕන නැති මගේම රැකියාවක් හදාගන්නවා කියලා.
ඊට පස්සේ එයා බයිසිකලයක් හොරකම් කරලා, ඒක කැමරාවකට සහ පොලිස් ස්කෑනරයකට මාරු කර ගන්නවා. එතන ඉඳන් එයා අනතුරු, ගිනිගැනීම් සහ වෙඩි තැබීම් වගේ සිදුවීම් පටිගත කරලා දේශීය පුවත් නාලිකාවලට විකිණීම ආරම්භ කරනවා. පළමු රාත්‍රියේදී, පොලිසිය ඔහුව පස්සට තල්ලු කරනකං ම එයා කැමරාව අනතුරට ලක්වූ පුද්ගලයාගේ මුහුණටම අල්ලනවා. ලූ ට මේ ව්‍යාපාරය කරන්න පුළුවන් වුණේ ඔහුට මිනිස් ජීවිත ගැන කිසිම හැඟීමක් නැති නිසාම විතරක් නෙවෙයි, ඒ ඔහුට ඒකට වෙළඳපලක් තිබුණ නිසා. මිනිස් ඛේදවාචකයක වීඩියෝ එකක් ප්‍රේක්ෂකයන්ගේ අවධානය ලබාගන්නවා නම්, ඒ වීඩියෝ එකට මුදල් ගෙවන්න සූදානම් සමාජයක් තිබුනා. ඒ නිසා ලූ විසින් නිර්මාණය කරන්නේ ඉල්ලුමක් විතරක් නෙවෙයි. දැනටමත් තිබුණු ඉල්ලුමකට තමයි ඔහු තමන්ගේ සැපයුම ලබාදීම ආරම්භ කරන්නේ.

ජෝ ලෝඩර් (Joe Loder) කියන ප්‍රවීණ මාධ්‍යවේදියා ලූව දකින්නේ නිකම්ම නිකං කරදරකාරයෙක් විදිහට. නමුත් ඒක විශාල වැරදීමක්. ලූ ඉක්මනින්ම තේරුම් ගන්නවා ඔහුගේ වීඩියෝස් විකිණීමට වඩාත්ම වැදගත් දේ කැමරාව හැසිරවීමේ කුසලතාව පමණක් නොව වෙළඳපලට අවශ්‍ය දේ හඳුනාගැනීම බව. ලූ දේශීය පුවත් නිෂ්පාදකවරියක වන නීනා රොමිනාට (Nina Romina) අඩු මිලකට වීඩියෝ ලබා දෙමින් පළමු ගනුදෙනුව සාර්ථක කරගන්නවා. නමුත් නීනාට අවශ්‍ය වෙන්නේ ඕනෑම වර්ගයේ ක්‍රයිම් වීඩියෝ එකක් නෙමෙයි. ප්‍රේක්ෂකයාගේ බිය සහ කුතුහලය වැඩි කරන විශේෂ ආකාරයේ වීඩියෝස්. එතැනදී ලූ ට තමන්ගේ ව්‍යාපාරය තවත් දියුණු කරගන්න පුළුවන් වෙනවා.
ලූ ගේ ක්‍රියාකාරකම් තේරුම්ගන්න නීනා රොමිනා ගේ චරිතය ඉතා වැදගත්. මේක තවත් සිත්ගන්නා සුළු වෙන්නේ නීනා ලූ ට මිනිසුන් මරන්න කියලා කියන්නේ නැහැ. නීනා ට අවශ්‍ය වෙන්නේ තමන්ගේ නාලිකාවට ඉහල ප්‍රේක්ෂක ශ්‍රේණිගත කිරීමක්. ලූ ට ඒ ශ්‍රේණිගත කිරීම් ලබාදීම සඳහා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. එතැනදී ඔවුන් දෙදෙනා අතර තියෙන්නේ අරමුණේ වෙනසක් නෙමෙයි, සීමාවේ වෙනසක්. නීනා අවශ්‍යතාවය නියෝජනය කරනවා. ලූ ඒ අවශ්‍යතාවයට සැපයුම ලබා දෙනවා. ඒ නිසා ලූ ව තනි රාක්ෂයෙක් විදිහට බලලා කතාව අවසන් කළොත් Nightcrawler චිත්‍රපටිය කියන්න හදන දෙයින් අඩක් අපිට මගහැරෙනවා. ඔහුගේ සාර්ථකත්වයේ රහස ඔහු අලුත් දෙයක් නිර්මාණය කිරීම නෙමෙයි. ඔහු දැනටමත් පවතින අවශ්‍යතාවය ඉතාමත් කාර්යක්ෂමව ඉටු කිරීමයි.

Nightcrawler හි බිහිසුණුම දේ ලූ කියන්නේ අමුතුම ආකාරයේ රාක්ෂයෙක් වීම නෙමෙයි. ඒ ඔහුව ප්‍රතික්ෂේප කළ යුතු පද්ධතිය විසින්ම ඔහුගේ ක්‍රියාවන්ට වන්දනා කිරීමයි.කොහොමහරි ඔහු පසුව රික් (Rick) නමැති තරුණයෙකු ගෙවීම් රහිත “පුහුණුවන්නෙකු” විදිහට සේවයට බඳවගන්නවා. රික් අසරණයි. ඔහුට මුදල් අවශ්‍යයි. ලූ ඒ දුර්වලතාවය හඳුනාගෙන එය තමන්ගේ වාසියට භාවිත කරනවා. ව්‍යාපාරික උපදෙස්, පොත්වල තියෙන වැකි කියවමින්, ඔහු තම නාලිකාව දියුණු කරන බව රික්ට කියනවා (ඒත් ඒ වෙනකොටත් ඔහුගේ සමාගම කියන්නේ පරණ කැමරාවක් සහ පොලිස් ස්කෑනරයක් විතරයි).
ලූ අපරාධ සිද්ධ වුණ ස්ථානවලදී සීමා ඉක්මවා යනවා. ඔහු මිනිසුන්ගේ පෞද්ගලික අවකාශයට ඇතුළු වෙනවා. හොඳ වීඩියෝ එකක් ලබාගැනීමට සිදුවීම් තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරනවා. ලූ පස්සට තල්ලු කරන සෑම සදාචාරාත්මක සීමාවක්ම, ඔහුගේ වීඩියෝස් වල වටිනාකම තවත් වැඩි කරනවා. මෙහිදී පද්ධතිය ලූට දඬුවම් කරන්නේ නැහැ. ඒ වෙනුවට එය ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකම හැරවුම් ලක්ෂ්‍යය බවට පත් වෙනවා.
Nightcrawler චිත්‍රපටය වඩාත් බියජනක වන්නේ ලූ වැනි මිනිසෙකු සැබෑ ජීවිතයේ සිටිය හැකි නිසා පමණක් නොව එවැනි මිනිසුන්ට ත්‍යාග ලබා දෙන පද්ධතියක් සැබෑ ලෝකයේත් ක්‍රියාත්මක වන නිසායි. මෙය “මාධ්‍ය නරකයි” යන්න පෙන්වන සරල කුමන්ත්‍රණ න්‍යායක් නොවේ. මෙහි සැබෑ යථාර්ථය නම්, මාධ්‍ය ආයතනවලට අවශ්‍ය ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා ආන්දෝලනාත්මක පුවත් සඳහා වෙළඳපලක් පැවතීමත්, එම ඉල්ලුමට වඩාත්ම කාර්යක්ෂමව සැපයුම ලබා දීමට ලූ බ්ලුම් වැනි චරිත බිහි වීමත්ය. මෙවැනි පද්ධතියක් පැවතීමට හේතුව මාධ්‍යවල කුමන්ත්‍රණයක් කියන්න අපිට බැහැ, වෙළඳ දැන්වීම්කරුවන්ට අවශ්‍ය ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ සරල ව්‍යාපාරික උපක්‍රමය තමයි අපිට මෙයට හේතුව විදිහට හඳුනගන්න පුළුවන්.

ජේක් ජිලෙන්හාල් (Jake Gyllenhaal) විසින් ලූ බ්ලුම්ගේ හිස්, නොසන්සුන් සහ මනුෂ්‍යත්වයෙන් තොර පෞරුෂය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 14 ක් පමණ තමන්ගේ සිරුරේ බර පවා අඩු කර ගනිමින් ඉතා විස්මිත ලෙස නිරූපණය කරන අතර, කැමරා ශිල්පී රොබට් එල්ස්විට් (Robert Elswit) ලොස් ඇන්ජලීස් නගරයේ රාත්‍රී මාර්ග සහ හිස් අවකාශ හරහා ලූගේ අඳුරු ලෝකයට අනන්‍ය වූ සීතල දෘශ්‍ය ශෛලියක් නිර්මාණය කර තිබෙනවා. අනෙක් මිනිසුන්ට රාත්‍රිය විවේක කාලයක් වන විට, ලූට එය තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන් දඩයමේ යන කාලය වීම මෙම චරිතයේ ඇති භයානක යථාර්ථය තවදුරටත් තීව්‍ර කරන්න සමත් වෙනවා.
මෙහි ඇති අපූරුම උත්ප්‍රාසය වෙන්නේ මෙම චිත්‍රපටයට ලැබුණු සම්මාන ඇගයීමයි. ජේක්ගේ රංගනයට ලොව පුරා විචාරකයින්ගෙන් පැසසුම් හිමි වුණත් ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා නිර්දේශ අතරටවත් ඔහුට එන්න පුළුවන් වෙලා නැහැ. මෙම සම්මාන උළෙලේ දී චිත්‍රපටයට ලැබුණු එකම නිර්දේශය වන්නේ හොඳම තිරපිටපත පමණයි. නොසලකා හරින පද්ධතියක් තුළ කැපවීමෙන් කළ වැඩ ඇගයීමට ලක් නොවීම ගැන කියන චිත්‍රපටයකට, සැබෑ ලෝකයේදීත් ඒ අත්දැකීමටම මුහුණ දීමට සිදු වීම දෛවයේ සරදමක් වැනිය.
Nightcrawler යනු එක්තරා මනෝව්‍යාධිකයෙක් ගැන කෙරෙන අධ්‍යයනයක් පමණක්ම නොවේ. සැබවින්ම එය අපගේ සමාජ ක්‍රමයේ පවතින ගැඹුරු දෝෂ හෙළි කරන කැඩපතක් වැනිය. අනුකම්පාවක් නැති පුද්ගලයෙකු, එකඟතාවලට වඩා ප්‍රතිඵල පමණක් ඉල්ලන රැකියා වෙළඳපලකට සහ සත්‍යයට වඩා ආන්දෝලනාත්මක දේ ඉල්ලන මාධ්‍ය සංස්කෘතියකට දැමූ විට ලැබෙන්නේ අසාමාන්‍ය පුද්ගලයෙක් නොවේ, එම පද්ධතියටම වඩාත්ම ගැලපෙන, සාර්ථකම පුද්ගලයාය. ලූ කියන්නේ ක්‍රමය පරාජය කළ කෙනෙක් නොව, ඔහු මේ පද්ධතියේ ඉන්න වඩාත්ම නීතිගරුක සේවකයාය.
Nightcrawler හි සැබෑ ප්‍රශ්නය “ලූ වැනි මිනිසුන් සිටීද?” යන්න නොව “ලූ වැනි අය සාර්ථක වන පද්ධතියක් අපි නිර්මාණය කර ඇත්තේද?” යන්නයි. අප සේවය කරන ඕනෑම ක්ෂේත්‍රයක ලූ ගේ වර්ගයේ මෙහෙයුම් පද්ධතියක් පසුපසින් ක්‍රියාත්මක වේ. මිනිස්කම අමතක කර, ප්‍රතිඵලය විතරක් තියෙනවා නම් ඕන දෙයක් ප්‍රශ්නයක් නොමැත කියන සංස්කෘතියක් බොහෝ තැන්වල ඇත. ලූ යනු ලූ යනු පද්ධතියට එරෙහි වූවෙක් නොව පද්ධතිය ඉල්ලා සිටි දේ අවසානය දක්වා උපරිමයෙන්ම ක්‍රියාත්මක කළ වඩාත්ම කාර්යක්ෂම සේවකයා වන බැවින්, මෙම චිත්‍රපටය අප සමාජය තුළ සැඟවුණු අඳුරු යථාර්ථයක ප්‍රශ්නාර්ථයයි.

