2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි මැතිවරණ කාර්යාලයකට අයුතු ලෙස ඇතුළු වී ඔහුගේ ආධාරකරුවන්ට පහර දී තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා ලබා සිටි විත්තිකරුවන් 6 දෙනෙකු එම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු දුලානි වීරතුංග මහත්මිය අද (25) නියෝග කළාය.
විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල මඟින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නාය.
ඒ අනුව අදාළ විත්තිකරුවන්ව චෝදනාවලින් නිදහස් කර මුදාහැරීමට නියම කෙරිණි.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ පී. ඒ. රුක්මන් ප්‍රදීප්, එම්. එස්. ප්‍රදීප් මංජුල, එච්. එම්. ධනපාල, බී. එම්. අසංක නුවන්, පී. ඒ. චාමර අසංක ප්‍රේමසිරි සහ පී. ඒ. විකුම් ප්‍රභාත් ප්‍රේමසිරි යන විත්තිකරුවන් 6 දෙනාය.
2015 ජනවාරි මස 11 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පොළොන්නරුව මහාධිකරණ බලප්‍රදේශයට අයත් වැලිකන්ද ප්‍රදේශයේදී අයුතු ජනරාශියක සාමාජිකයන් වෙමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140, 300, 315 සහ 314 යන වගන්ති යටතේ මෙම විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් අධිචෝදනා 7 බැගින් ගොනු කර තිබුණි.
