Rockstar අධිරාජ්‍යය: චෝදනා සහ විවේචන මුදල් බවට හැරවූ හැටි

Gaming ලෝකයේ විතරක් නෙමෙයි, සමස්ත විනෝදාස්වාද ක්ෂේත්‍රයේම තවම කවුරුත් Play කරලවත් නැති Product එකක් වෙනුවෙන් මෙච්චර ලොකු බලාපොරොත්තුවක් හදන්න GTA හැර වෙන කිසිම Franchise එකකට බැරි වුණා.

Grand Theft Auto 6 (GTA 6) ක්‍රීඩාව නිර්මාණය කරන්න විතරක් Rockstar Games සමාගම දැනටමත් ඩොලර් බිලියන 2කට වඩා වියදම් කරලා ඉවරයි. 2025 දී එන්න තිබ්බ මේ Game එක දෙපාරක්ම කල් ගිහින්, දැන් Take-Two සමාගම කියන විදිහටම 2026 නොවැම්බර් 19 වෙනිදට නිකුත් කරන්න සියල්ල ලෑස්තියි.

හැබැයි එක කොපියක්වත් විකිණෙන්න කලින්, මෙහි Reveal Trailer එක YouTube ඉතිහාසය වෙනස් කළා. පැය 24ක් ඇතුළත views මිලියන 90.4ක් ලබාගනිමින්, MrBeast තියලා තිබ්බ දැවැන්ත වාර්තාවත් ඒකෙන් බිඳ වැටුණා!

මේක දකිද්දී ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ “Game එක සුපිරි හින්දා වෙන්න ඇති” කියලා. හැබැයි ඊට වඩා ලස්සන කතාව තියෙන්නේ එතැන නෙමෙයි. ස්කොට්ලන්තයේ පුංචි Studio එකකින් පොඩි Game එකක් විදිහට පටන් ගත්තු “හොරයි-පොලිසියයි” සූදුව, අද ඩොලර් බිලියන ගණන් වටිනා සමාගමක කොඳුනාරටිය වුණේ කොහොමද? තමන්ට ආපු විවේචන සහ චෝදනා, තමන්ගේ Business එක දියුණු කරගන්න Rockstar ලා පාවිච්චි කළේ කොහොමද? කියන එක.

Rockstar පිටිපස්සේ හිටපු Houser සහෝදරයෝ (Sam සහ Dan) ඇත්තටම Programmers ලා නෙමෙයි. ලන්ඩන්වල හැදී වැඩුණු ඔවුන්ගේ ඔළුවේ තිබ්බෙම Hip-Hop, Gangster films සහ සමාජ විරෝධී බිහිසුණු චරිත (Outlaws) ගැන විතරයි. ඔවුන්ගේ අම්මා බ්‍රිතාන්‍ය අපරාධ චිත්‍රපටවල රඟපාපු නිළියක්; තාත්තා Jazz club එකක් කරගෙන ගිය කෙනෙක්.

පුංචි කාලේ Sam, ප්‍රසිද්ධ Trumpet වාදකයෙක් වුණු Dizzy Gillespie ට කියලා තිබ්බේ:

“මම ලොකු වුණාම Bank Robber කෙනෙක් වෙනවා!” කියලා.

ඔවුන්ට තාක්ෂණික දැනුම නොතිබුණාට, මිනිස්සුන්ගේ රසවින්දනය ගැන මාරම දැක්මක් සහ ඒ වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්න බයක් නැති කමක් තිබුණා.

90 දශකයේ මුලදී, Sam තමන්ගේ තාත්තාගේ මාර්ගයෙන් BMG (Bertelsmann Music Group) කියන සංගීත සමාගමේ Mailroom එකේ රක්ෂාවකට එකතු වුණා. පස්සේ එතැනින්ම ඔවුන් අලුතින් පටන් ගත්තු Games Division එකට මාරු වුණා. BMG හි ප්‍රධානීන්, විශේෂයෙන්ම Strauss Zelnick කියන විධායක නිලධාරියා තීරණය කළා ෆිල්ම් හදනවාට වඩා Video Games වලට බහින එක ලාභයි කියලා.

BMG එකේ මුල්ම Game ටික එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ අතරේ තමයි ස්කොට්ලන්තයේ Dundee වල තිබ්බ DMA Design කියන පුංචි Studio එකෙන් “Race ‘n’ Chase” කියලා Cops-and-Robbers Game එකක් BMG එකට පෙන්නුවේ.

මේක Test කරපු අය එක දිගට Missions කරන්නේ නැතුව, නිකන්ම වාහන පදව පදවා වටේටම හානි කරන්න පටන් ගත්තා. DMA Design කණ්ඩායම කළේ ඒක තවත් උඩින් පිළිගත්ත එකයි. ඔවුන් “Cops” ලාගේ පැත්ත සම්පූර්ණයෙන්ම කපලා දාලා, පාරේ යන මිනිස්සුන්ව හප්පද්දී Points හම්බෙන විදිහට Game එක වෙනස් කරලා, නම “Grand Theft Auto” කියලා දැම්මා!

ගොඩක් දෙනෙක් නොදන්න කතාව තමයි GTA වල මුල් සාර්ථකත්වය ආවේ නිකන්ම කටින් කට ගිහින් නෙමෙයි කියන එක. BMG සමාගම Max Clifford කියන බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය Publicist ව එකතු කරගෙන, සමාජය ඇතුළේ ලොකු “කුපිත වීමක්” (Outrage) හිතාමතාම නිර්මාණය කළා.

දේශපාලනඥයන්ට මේ Game එකේ තියෙන ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු යැව්වා.

Game එක එන්න මාස ගාණකට කලින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේදී පවා GTA චෝදනාවට ලක්වුණා.

පත්තරවල “මේක භයානකයි!” කියලා Headlines යද්දී, තරුණයන්ගේ කුතුහලය තවත් වැඩි වුණා. ඊළඟ දශකය පුරාම මේ සිදුවීම දිගින් දිගටම වුණා. ෆ්ලොරිඩාවේ ක්‍රියාකාරිකයෙක් වුණු Jack Thompson, GTA සම්පූර්ණයෙන්ම තහනම් කරන්න නඩු දැම්මා, 60 Minutes වැඩසටහනට ආවා, සිදුවුණු ඇත්ත අපරාධ පවා GTA එකට සම්බන්ධ කළා.

හැබැයි වුණේ මොකක්ද? කිසිම Ad campaign එකකින් ගන්න බැරි තරම් ලොකු Publicity එකක් නොමිලේම GTA එකට හම්බුණා!

2005 දී “Hot Coffee” සිදුවීමත් එක්ක Rockstar ලා ලොකු අමාරුවක වැටුණා. San Andreas Game එක ඇතුළේ හැංගිලා තිබ්බ, Modders ලා විසින් Unlock කරපු ලිංගික දර්ශන වගයක් නිසා ESRB ආයතනය Rockstar සමාගමට විරුද්ධව පියවර ගත්තා. මේ නිසා Game එක Re-release කරන්න වගේම ඩොලර් මිලියන ගණන් වන්දි ගෙවන්නත් සිද්ධ වුණා.

නමුත් 2011 දී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු ඓතිහාසික තීන්දුවකින් (Brown v. Entertainment Merchants Association) පැහැදිලි කළා Video Games කියන්නෙත් චිත්‍රපට සහ පොත්පත් වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අයිති දෙයක් කියලා. ඒකෙන් GTA එකට තිබ්බ ලොකුම තර්ජනයක් වුණු “සම්පූර්ණ තහනම් කිරීමේ” බය නැතිවෙලාම ගියා.

සමාජය ඇතුළේ මේ සටන යද්දී, BMG එකේ ජර්මන් අයිතිකාරයෝ Games Division එක Young Publisher කෙනෙක් වුණු Take-Two Interactive එකට හරිම අඩුවට වික්කා. ඒ එක්කම DMA Design එකත් ඩොලර් මිලියන ගණන්වලට අත් මාරු වුණා. අද GTA වල වටිනාකම එක්ක බලද්දී ඒ ගණන් හිනා යන තරම් සුළු ගණන්!

පස්සේ කාලෙක Take-Two එක ඇතුළේ ලොකු අවුල් හදෙද්දී, BMG එකෙන් අයින් වෙලා හිටපු Strauss Zelnick ආපහු ඇවිත් 2007 දී Take-Two එකේ පාලනය තමන්ගේ අතට ගත්තා. Zelnick ගේ නායකත්වය යටතේ Games වල තිබ්බ ඒ “දඟකාර/සමාජ විරෝධී” ගතිය ඒ විදිහටම තියෙද්දී, Business එක හරිම Professional විදිහට ඉස්සරහට අරන් ගියා.

හැබැයි GTA ඉතිහාසයේ ලොකුම වෙනස වුණේ GTA Online එකත් එක්කයි.

හැම අවුරුද්දකම අලුත් Games ගේනවා වෙනුවට, Rockstar ලා කළේ GTA V ඇතුළේ සදාකාලික Multiplayer ලෝකයක් හදපු එකයි.

පළමු අවුරුද්දෙන්ම ඩොලර් බිලියන 2ක් හොයපු Game එකක්, අවුරුදු 10කට පස්සෙත් දිගටම සල්ලි උපයන Machine එකක් බවට පත් වුණා.

GTA V විතරක් කොපි මිලියන 230කට ආසන්න ප්‍රමාණයක් විකිණිලා තියෙනවා.

මුළු Franchise එකේම ආදායම ඩොලර් බිලියන 10 පැනලා ඉවරයි! ඒ කියන්නේ ලෝකයේ ඕනෑම Film එකකට හෝ Music album එකකට වඩා වැඩිම ආදායමක් ගෙනාපු Entertainment product එක තමයි GTA.

Take-Two සමාගම මේ ආදායමෙන් NBA 2K හරහා වගේම, 2022 දී Zynga සමාගම (FarmVille) ඩොලර් බිලියන 12.7කට මිලදී ගනිමින් Mobile gaming පැත්තටත් තමන්ගේ අධිරාජ්‍යය පැතිරෙව්වා.

දැන් තියෙන ප්‍රශ්නය Marketing වල පෙනෙන තරම් සරල නැහැ.

2020 දී, GTA කතාවල ප්‍රධාන රචකයා වුණු Dan Houser Rockstar වලින් අයින් වුණා. අයින් වෙන්න කලින් එයා කියලා තිබ්බේ:

“වර්තමාන දේශපාලනය විවේචනය කරමින් (Satirize) කතා ලියන එක දැන් කරන්නම බැරි දෙයක්. මොකද සමාජයේ දෙපැත්තම දැන් මාරම විදිහට උග්‍ර වෙලා. අපි හිතලා හදන ඕනෑම විහිළුවකට වඩා ඇත්ත ලෝකයේ වෙන දේවල් විකාරයි.”

මෙන්න මේක තමයි Rockstar ලාට තියෙන අලුත්ම ප්‍රශ්නය.

ඉස්සර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් Game එකට බනිද්දී ඒකෙන් Game එක තවත් ප්‍රසිද්ධ වුණා. හැබැයි අද තියෙන සමාජ මාධ්‍ය සංස්කෘතිය ඊට වඩා මාරම වේගවත් වගේම අනුමාන කරන්න බැරි එකක්. Dan Houser වගේ ප්‍රධාන රචකයෙක් නැතුව, ඩොලර් බිලියන 2කට වඩා වියදම් කරලා, මෙන්න මේ වගේ සංකීර්ණ සමාජයක් ඇතුළේ අලුත් Game එකක් හදන එක ලොකු Risk එකක්.

GTA වල අවුරුදු 30ක ඉතිහාසය කියන්නේම අමුතුම Risk එකක් ගත්ත කතාවකට. ඒ ක්‍රමය අවුරුදු 30ක් වැඩ කළා. හැබැයි හැමෝම, හැමවෙලේම, සද්දෙට විවේචන එල්ල කරගන්න අද වගේ සමාජයක මේ ක්‍රමය තවදුරටත් සාර්ථක වෙයිද?

2026 නොවැම්බර් මාසේ Take-Two සමාගම අන්න ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහොමද කියලා අපි බලාගෙන ඉමු!

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading