ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට ලබාදීමේදී රජයට රුපියල් අසූපන්ලක්ෂයකට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා ලබා සිටින හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 05 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (07) නියෝග කර තිබේ.
අද දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස නියෝග කර තිබේ.
ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ ජනරල් අසිත ඇන්තනි මහතාගේ මෙහෙයවීම යටතේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිහහේවා මහතා ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ තමා සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ, එනම් 2014 වසරේදී හුණුපිටිය ගබඩා සංකීර්ණයේ මාර්ග කාපට් ඇතිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළ බවත්, එකල අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළේ විත්තිකාර කුමාර ජයකොඩි බවත්ය.
ඒ අනුව තෝරාගත් ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් නමැති පෞද්ගලික සමාගමට අත්තිකාරම් ඇපකරයක් මත රුපියල් 8,859,708ක මුදලක් ගෙවීමට කටයුතු කළ බවත් අදාළ ප්‍රසම්පාදන හා මුදල් අංශ විසින් ඉදිරිපත් කළ ලේඛන නිසි පරිදි පරීක්ෂා කිරීමෙන් පසුව තමා එම ගෙවීමට අනුමැතිය දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වුවද, අදාළ සමාගම විසින් කාපට් ඇතිරීමේ කිසිදු කාර්යයක් සිදු නොකළ බවත්, ඒ සඳහා රැගෙන ආ ගල් ඇතුළු අමුද්‍රව්‍ය පමණක් ගබඩා පරිශ්‍රයේ දමා ගොස් තිබූ බවත් සාක්ෂිකාර සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ. එසේම පසුව එම සමාගම ලබාදී තිබූ අත්තිකාරම් ඇපකරයෙන් අය කර ගැනීමට හැකිව ඇත්තේ රුපියල් 2,214,921ක මුදලක් පමණක් බවද ඔහු අනාවරණය කර තිබේ.
අද දින ජාතික විගණන කාර්යාලයේ නීති නිලධාරිනියක විසින්ද සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 05 වනදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
2014/2016 කාලසමයේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින්, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගමකට අයුතු ලෙස වාසි සැලසීම තුළින් රජයට රුපියල් 8,859,708.00ක පාඩුවක් සිදු කර “දූෂණය” නමැති වරද සිදුකළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
කෙසේ වෙතත්, විත්තිකාර කුමාර ජයකොඩි මහතා මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා මෙම චෝදනාවලට වරදකරු නොවන බවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පැවති තාක්ෂණික දෝෂයක් මෙයට හේතු වී ඇති බවත්ය.
