මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව පවරා ඇති නඩුවක කුමන්ත්‍රණ චෝදනාව ඉදිරියට පවත්වාගෙන යාම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ අභියාචනා පෙත්සම අද (07) දින ඉල්ලා අස්කරගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි කාලසීමාව තුළ නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වුවහොත් එම අවස්ථාවේදී මෙම කරුණ යළි ඉදිරිපත් කිරීමේ අයිතිය විත්තිකාර පාර්ශ්වයට තබාගැනීමට අවසර දෙමින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.
නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබූ මෙම චෝදනාවට අදාළව මහාධිකරණ තීන්දුවක් අභියෝගයට ලක් කරමින් යෝෂිත රාජපක්ෂ මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබූ අතර, අද දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.
2012 ඔක්තෝබර් සිට 2013 අගෝස්තු දක්වා කාලසීමාව තුළ යෝෂිත රාජපක්ෂ මහතා විසින් නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා රත්මලාන සිරිමල් උයන ප්‍රදේශයේ රුපියල් මිලියන 35.99ක දේපළක්, දෙහිවල බටහිර කවුඩාන ප්‍රදේශයේ රුපියල් මිලියන 22.5ක දේපළක් ඇතුළු රුපියල් මිලියන 73කට අධික වටිනාකමකින් යුත් දේපළ 5ක් මිලදී ගත් බවට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබුණා.
එවකට ඔහුට එවැනි දේපළ මිලදී ගැනීමට තරම් නීත්‍යානුකූල ආදායමක් නොතිබූ බව පැමිණිල්ලේ ස්ථාවරය වූ අතර මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජනවාරි 25 වනදා බෙලිඅත්තේදී යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදී තිබුණා.
මුල් අධිචෝදනා පත්‍රය යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට අමතරව ඔහුගේ මිත්තණියගේ සහෝදරියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ මහත්මියද දෙවන විත්තිකාරිය ලෙස නම් කර තිබුණා.
කෙසේ වෙතත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවක් මඟින් ඇය නඩු විභාගයකට මුහුණදීමට තරම් යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක නොසිටින බව තහවුරු වීම නිසා ඇයට එරෙහි නඩු කටයුතු ඉදිරියට ගෙන නොයාමට මහාධිකරණය තීරණය කළා.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් අධිචෝදනා සංශෝධනය කර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පමණක් නඩුව ඉදිරියට ගෙන යාමට නියෝග කළා.
එහිදී විත්තියේ නීතිඥවරුන් තර්ක කළේ, කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබූ අනෙක් පාර්ශ්වය නඩුවෙන් ඉවත්ව ඇති පසුබිමක එක් පුද්ගලයෙකුට පමණක් තනිවම “කුමන්ත්‍රණය කිරීම” යන චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවයි.
ඉන් අනතුරුව ඩේසි ෆොරස්ට් මහත්මිය නිදොස් කොට නිදහස් කර නොමැති බවත් සෞඛ්‍ය හේතූන් මත ඇයට එරෙහි ක්‍රියාමාර්ග පමණක් නතර කර ඇති බැවින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහි කුමන්ත්‍රණ චෝදනාව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවත් සඳහන් කරමින් කොළඹ මහාධිකරණය සහ පසුව අභියාචනාධිකරණය විසින් විත්තියේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව යෝෂිත රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයයි අද දින මෙලෙස ඉල්ලා අස්කරගනු ලැබුවා.
මෙම දේපළ නඩුවට සමගාමීව 2009 සිට 2013 දක්වා කාලය තුළ නීත්‍යානුකූල මූලාශ්‍රයක් හෙළි කළ නොහැකි රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු තුනක ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම හරහා මුදල් විශුද්ධිකරණය සිදුකළ බවට යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව තවත් වෙනම නඩුවක් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන අතර එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සැප්තැම්බර් 28 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
