රියැලිටි වැඩසටහන්වල දරුවන් හඬවන දර්ශනවලටත්, Influencers ලා, Content Creators ලා සහ AI වලින් දරුවන්ට වෙන හානිවලටත් වැට බඳින අලුත්ම මාර්ගෝපදේශය ගැන දැනුම්දීමක්!

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පමණක් නොව ඩිජිටල් මාධ්‍ය, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්, අන්තර්ගත නිර්මාපකයින් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් දරුවන් ප්‍රතිනිර්මාණය කිරීම ඇතුළු සියලුම මාධ්‍ය අංශ ආවරණය වන පරිදි ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයනා සුරවීර මහත්මිය පවසනවා.

රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඇය පෙන්වාදුන්නේ මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය හුදෙක් ළමා අපයෝජන වාර්තාකරණයට පමණක් සීමා නොවී දරුවන් සම්බන්ධ සියලුම වාර්තාකරණයන්හිදී දරුවාගේ උපරිම යහපත, ගෞරවය සහ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා සකස් කර ඇති බවයි.

ඩිජිටල් මාධ්‍යයට යම් අන්තර්ගතයක් මුදාහැරීමෙන් පසු එහි කෙළවරක් සොයාගත නොහැකි බැවින් අද පළ කරන පුවතකින් දරුවාගේ අනාගතයට දැඩි බලපෑමක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව ආචාර්යවරිය එහිදී අවධාරණය කළා.

ඒ අනුව අන්තර්ගතයක් පළ කිරීමට පෙර එහි ක්ෂණික ප්‍රවෘත්ති වටිනාකම පමණක් නොව දරුවාගේ අනාගතයට එය බලපාන ආකාරය පිළිබඳව සිතිය යුතු බවත් AI තාක්ෂණය යොදාගෙන දරුවන් ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද මෙහි විශේෂ විධිවිධාන ඇතුළත් කර ඇති බවත් ඇය පවසනවා.

මෙම මාර්ගෝපදේශ සංග්‍රහය මාධ්‍ය නිදහස සීමා කිරීමක් නොවන බව පැවසූ නයනා සුරවීර මහත්මිය, මාධ්‍ය අන්තර්ගතයන් සඳහා දරුවන් පාවිච්චි කිරීම වෙනුවට දරුවාද මූලික අයිතිවාසිකම් හිමි පුද්ගලයෙකු ලෙස සලකා කටයුතු කිරීම මෙහි මූලික දර්ශනය බව කියා සිටියා.

ඇය පවසන්නේ, මාධ්‍ය නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී දරුවාට කායික, මානසික, සමාජීය හෝ අධ්‍යාත්මික හානියක් සිදු නොවන පරිදි ළමා හිතකාමී මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම මෙහි අරමුණ බවයි.

එමෙන්ම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ සකස් කර ඇති අතර පළමු වරට ආබාධ සහිත දරුවන්ගේ සමානාත්මතාවය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

මෙම නව ජාතික මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රධාන කොටස් හතරක් ඔස්සේ සකස් කර ඇති අතර එහි පළමු කොටස වන පොදු සදාචාරාත්මක මූලධර්ම යටතේ, සමස්ත සංග්‍රහයේම පදනම ලෙස දරුවාගේ උපරිම යහපත, සත්‍යතාව සහ නිවැරදිතාව මෙන්ම දරුවාගේ අභිමානය හා පෞද්ගලිකත්වය රැකගනිමින් වාර්තාකරණයේ යෙදිය යුතු ආකාරය පෙන්වාදී ඇති බව ඇය සඳහන් කළා.

දෙවන කොටස වන අපයෝජන සහ අපරාධ වාර්තාකරණයේදී ළමා අපයෝජන, අපරාධ සහ නීතිමය ක්‍රියාමාර්ග වාර්තා කිරීමේදී පුවතේ සත්‍යතාව රැකගනිමින් වින්දිත දරුවාගේ ගෞරවය හා ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කර ඇති බව ආචාර්යවරිය පවසනවා.

එමෙන්ම සමාජ මාධ්‍ය හා ඩිජිටල් වපසරිය තුළ සියදිවි නසා ගැනීම් පිළිබඳ සිදුවීම් සමාජයට දැඩි බලපෑමක් කරන බැවින් තවත් දරුවෙකු එවැනි අවදානමකට ලක්වීම වළක්වා ගන්නා ආකාරයට වාර්තා කිරීම තෙවන කොටසින් අවධාරණය කෙරෙන බව ඇය සඳහන් කළා.

මීට අමතරව රියැලිටි වැඩසටහන්, නාට්‍ය සහ වෙළඳ දැන්වීම් ඇතුළු විවිධ වැඩසටහන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන සිව්වන කොටස මගින්, රියැලිටි වැඩසටහන්වලදී දරුවන් තරගයෙන් ඉවත් වන විට හඬන දර්ශන සංවේදී ලෙස වාර්තා කිරීම, විනිශ්චයකරුවන්ගේ අදහස් මගින් දරුවන්ට සිදුවන මානසික හානිය, සංවේදී සිදුවීම් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම සහ දරුවන්ගේ පවුලේ තොරතුරු අනවශ්‍ය ලෙස මුදාහැරීම වැළැක්වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් සිදු කර ඇති බව ආචාර්ය නයනා සුරවීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts