මොහොමඩ් ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 25 වැනිදා දක්වා කල් ගොස් ඇත.
නඩුව මෙසේ කල්ගොස් ඇත්තේ, රජයේ අධිනීතිඥවරයා මෙම නඩුවට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති CCTV දර්ශන ඇතුලත් CD පටය පිටපත් කර ගැනිමට නොහැකි වූ බව අධිකරණයට දැනුම් දීම හේතුවෙනි.
ඒ අනුව, අදාළ CCTV දර්ශන ඇතුළත් CD තැටිය වහාම මහාධිකරණයට ලබාදෙන ලෙසත්, නඩුවට අදාළ රස පරීක්ෂක වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර නියෝග කර ඇත.
මෙම නඩුව පිලිපීන ජාතික ජොහාන් බේ, අයි.ඩී. සුමිත් සහ මොහොමඩ් ශිරාන් බාසික් යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පවරා තිබේ. එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ශිරාන් බාසික් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, පළමු විත්තිකරු ද බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මේ වන විට ඇප මත මුදාහැර සිටින දෙවන විත්තිකරු ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1,255.7ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ නීතිපතිවරයා විසින් 2023 අගෝස්තු 16 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.
